සිංහරාජ වනාන්තරය තුළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පුත් යොෂිත රාජපක්ෂ අයත් හෝටලයක් ඇති බවටත්, සිංහරාජය හරහා මාර්ගයක් ඉදි කරන්නේ ඊට ළඟාවන මාර්ගයට සම්බන්ධ කිරීමට බවටත් සජීව චාමිකර විසින් සිදු කළ සියලු ප්‍රකාශයන්
යෝෂිත රාජපක්ෂ විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

“ඩේලි මිරර්” පුවත්පතට ප්‍රකාශයක් දෙමින් යෝෂිත රාජපක්ෂ පවසා ඇත්තේ සිංහරාජා වන රක්ෂිතය තුළ තමාට හෝටල් හෝ නිවාඩු නිකේතන නොමැති බවයි. එසේම චාමිකර විසින් තමාට එරෙහිව නගා ඇති චෝදනා පදනම් විරහිත සහ අසත්‍ය බව ද යෝෂිත රාජපක්ෂ විසින් පවසා ඇත.

කෙසේ වෙතත්, එකී අභූත චෝදනා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා තම නීතිඥයින්ට උපදෙස් ලබා දී ඇති බව යෝෂිත රාජපක්ෂ කියා සිටියා.

“ඩේලි මිරර්” පුවත්පතට ඔහු මෙසේ ද පවසා ඇත.

“මෙය සම්පුර්ණයෙන්ම අසත්‍යයකි. මම ස්වභාවධර්මයට ඇලුම් කරන අතර පරිසරයට ගරු කරනවා. මේ නිසා මම World Green Building Council එකේ සාමාජිකයෙක් ලෙසත් කටයුතු කරනවා. ඇතැම් කණ්ඩායම් දැන් නැවත වරක් රාජපක්ෂ ප්‍රතිරූපයට කැළලක් ඇති කිරීමට උත්සාහ කරමින් අසත්‍ය කථා පතුරුවා හැරීමට උත්සාහ කරනවා. මම අපගේ වන රක්ෂිතයවලට ගරු කරන අතර එහි කිසිදු හෝටලයක් අයිති කර ගෙන නැහැ. මෙම කණ්ඩායම මහජනයා නොමඟ යැවීමට උත්සාහ කරන බැවින් ඔවුන්ට එරෙහිව මම නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා ”යැයි යොෂිත පවසා ඇත.

මේ අතර යෝෂිත රාජපක්ෂට අයත් හෝටලයේ ඡායරූපයක් බවට පවසමින් සමාජ ජාල තුළ ඡායාරූපයක් ද බෙදා හැරෙමින් පවතී. එහෙත් අදාළ ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඉන්දුනීසියාවේ බාලි දූපත් හී ඇති Nandini Jungle Resort and Spa හෝටලයේ ඡායරූපයක් බව අන්තර් ජාලය ඔස්සේ තහවුරු වී තිබෙනවා. Nandini Jungle Resort and Spa හෝටලයේ අදාළ ඡායාරූපය මේ සමග දැක්වේ.

කෙසේ වෙතත් මේ වන විට අදාළ මාර්ග සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමටත්, පරිසරයට හානිවන අයුරින් කිසිඳු ඉදි කිරීමක් නොකරන ලෙසටත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව සිංහරාජ වන ආසන්නයෙන් කෙරෙන ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවීමට ද පියවරගෙන තිබෙනවා.