ඉන්දියාව COVID-19 වෛරසය ආසාදිතයන් මිලියන 6ක් ඉක්මවා ගියේ, ගෙවීගිය දිනයේ නව ආසාදිතයන් 82,170ක් වාර්තා කරමිනි. ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ආසාදිතයන් මිලියන 6.1ක් ලෙස මේ වනවිට සටහන් වන අතර, වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් සිටින රට ලෙස ඉන්දියාව ඉදිරි සතිවලදී එක්සත් ජනපදය පසුකර යනු ඇති බව විෂ්ලේෂකයෝ පෙන්වා දෙති.
එසේම COVID-19 මරණ ගෙවීගිය දිනය තුළ 1,039කින් ඉහළ ගොස් මේ වනවිට සමස්ත මරණ සංඛ්‍යාව 95,542ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය සමස්ත ආසාදනවලින් 1.6%ක අගයකි.


බිලියන 1.3ක ජනගහනයක් ජීවත් වන ඉන්දියාව, ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ නගරවල නිවහනක් වන අතර, COVID-19 රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්තා කරනු ඇතැයි කියා වසංගතය පැතිරීම ආරම්භ වන විටම ඉඟි කෙරුණු රාජ්‍යයකි.

අගෝස්තු අග සිට ලෝකයේ ඉහළම දෛනික ආසාදන වාර්තා කිරීමට පටන් ගත් දා සිට ඉන්දියාව දිනකට නව ආසාදිතයන් 80,000ත් 90,000ත් අතර ප්‍රමාණයක් එක් කරමින් සිටියි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පෙරේදා (27දා) ජනතාවගෙන් ඉල්ලා සිටියේ තම නිවෙස්වලින් පිටතට යන විට මුඛ ආවරණ පැලඳ සිටින ලෙසය.

"මේ නීති කොරෝනාවට එරෙහි යුද්ධයේ ආයුධයි. සෑම පුරවැසියෙකුගේම ජීවිතය බේරා ගැනීමට ඒවා ප්‍රබල මෙවලම් වෙනවා” යැයි මෝදි සිය මාසික ගුවන් විදුලි ඇමතුමේදී පැවසීය. නව කොරෝනා වෛරසය මුලදී මුම්බායි සහ නවදිල්ලිය ඇතුළු විශාල අගනගරවලට පහර දුන් අතර, එතැන් සිට සෞඛ්‍ය සේවා පද්ධති වහා බිඳෙනසුලු හා දුර්වල ප්‍රාන්ත හා ග්‍රාමීය ප්‍රදේශ කරා ව්‍යාප්ත විය.


වසංගතයේ අඛණ්ඩ වර්ධනයක් තිබියදීත් ඉන්දීය රජය විසින් පනවා තිබූ අගුලු දැමීම් ක්‍රමයෙන් ඉවත් කිරීමට සිදුව ඇත්තේ දැඩි සීමාවන් හේතුවෙන් ආර්ථිකයට ඇති වූ පීඩනය දුගීන් ඇතුළු මිලියන ගණනක ජනතාවගේ ජීවනෝපායන් විනාශ කර ඇති නිසාය. එමෙන්ම සමහර පාසල් නැවත විවෘත කර ඇති අතර දුම්රිය, බස්, දේශීය ගුවන් ගමන්, වෙළඳසැල් සහ ආපනශාලා සඳහා සීමාවන් සහිතව ක්‍රියාත්මක වීමට අවසර දී ඇත.

දිල්ලියේ සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනයේ (AIMS) ප්‍රජා වෛද්‍ය මහාචාර්ය ආනන්ද ක්‍රිෂ්ණන් පැවසුවේ වෛරසය ආසාදනය වන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවය. "ආසාදනය ප්‍රජාව තුළ විශාල ලෙස පැතිරී තිබෙනවා. අපට කළ හැකි එකම දෙය වන්නේ රෝගී පුද්ගලයන් රැකබලා ගැනීමයි. ඔවුන් වේගයෙන් හඳුනාගෙන ඔවුන්ට වඩා හොඳින් සැලකීමයි. සමාජ දුරස්ථ සම්මතයන් අනුගමනය කළ යුතුයි. ඉන් ඔබ්බට, නිශ්චිත දෙයක් කළ හැකි යැයි මා සිතන්නේ නැහැ." දිල්ලියේ සමහර නිවැසියන් කියා සිටියේ, ඔවුන් පරිස්සමින් ජීවත් වුවද, වසංගතය පිළිබඳ ඔවුන් තුළ පවතින බිය අඩු වී නොමැති බවය. අනාගතය අවිනිශ්චිත බව ඔවුන් කියයි. යමෙකුට පරිස්සම් විය හැක්කේ සියලු සෞඛ්‍යාරක්ෂක විධි අනුගමනය කිරීමෙන් පමණක් බව ඔවුන් වැඩිදුරටත් කියයි.