මාස 08ක් පමණ වයසැති සිය දියණිය පෙන්වා හිගාකෑමේ යෙදී සොයා ගන්නා ලද මුදලින් හෙරොයින් පානය කරන බව කියන 22 හැවිරිදි තරුණියක මහනුවර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (19) මහනුවර නගරයේදී අත්අඩංගුවට ගෙන
තිබේ. සිය සැමියා දරුවා සහ තමා අතහැර ගොස් සිටින නිසා ජීවත්වීමට මඟක් නොමැති බව පවසමින් ඇය හිගාකෑමේ යෙදෙන බව පොලීසිය පවසයි.  හිගාකෑමෙන් උපයාගත් බව කියන රුපියල් 800ක පමණ මුදලක්ද සැකකාර කාන්තාව ළඟ තිබී පොලිස් බාරයට ගෙන ඇත.  පැයක් වැනි කාලයක් තුළ මෙම මුදල තමා හිඟා කා සොයාගත් බව යාචක කාන්තාව පොලීසියට පවසා ඇති බව කියති.


තම මාස08 ක් පමණ වයසැති දියණියඳ රැගෙන ගොස් හිඟාකමින් ඒ මුදලින් හෙරොයින් පානය කරන බවට මෙම තරුණියගේ පියා මහනුවර පොලීසියට පැමිණිල්ලක් කර ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්  පැවසීය. තම දියණිය දිනකට හෙරොයින් මත්ද්‍රව්‍ය වෙනුවෙන් රුපියල් 8,000 ක පමණ මුදලක් වැය කරන බවත් පියා කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි පොලීසිය කියයි.  ඇය හෙරොයින් අවශ්‍ය වූ අවස්ථාවලදී කළහකාරී ලෙස හැසිරෙන බවත් මධ්‍යම රාත්‍රියේ පවා හෙරොයින් සොයාගෙන නිවසින් පිටව යන බවත් පියා පොලීසියට පවසා ඇති බව කියයි.  තම දියණිය බාලවයස්කාර දැරියකව සිටියදී විවාහ වූ බවත් එම විවාහයෙන්ද දරුවකු සිටින බවත් එම පියා කියන බව පොලීසිය පවසයි.

ඇය පළමු විවාහයේ සැමියා අතහැර දමා වෙනත් පිරිමියකු සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය බවත් ඔහුට දාව ඇයට ගැහැනු දරුවකු ලැබී ඇති බවත් ඇයගේ පියා කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.
අනියම් සැමියාගේ මාර්ගයෙන් දියණිය හොරොයින් පානය කිරීමට ඇබ්බැහි වූ බවත් ඇයගේ එම අනියම් සැමියා මේ වනවිට හෙරොයින් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ රිමාන්ඩ් බාරයේ පසුවන බවත් පියා පොලීසියට පවසා ඇත. දියණියගේ මාස 08 ක් පමණ වයසැති දැරිය  වඩාගෙන ගොස් හිගා කා උපයා ගන්නා මුදලින්  හෙරොයින් පානය කරන නිසා ඇයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පියා කර තිබූ ඉල්ලීමක් මත වැටලීමක් සිදුකර සැකකාර කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
සැකකාර කාන්තාවගේ සිඟිති දියණියද මේ සමග පොලිස් බාරයට ගනු ලැබුවාය.  වසර 04ක පමණ කාලයක සිට මෙම සැකකාර කාත්තාව හෙරොයින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටින බව පරීක්‍ෂණවලින් පෙනී ගිය බවද පොලීසිය සඳහන් කරයි

-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය-