විසිවැනි සංශෝධනය ගෙන ඒමෙන් වන අනතුර ජනතාව දන්නවා නම් 69 ලක්ෂයක් ආණ්ඩුවට ඡන්දය දෙන්නේ නැතැයිද පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ පැවැති මාධ්‍ය හමුවේදී ජයසුරිය මහතා කීවේය. වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු කතානායකවරයා, අද වනවිට රටේ ආර්ථිකය කඩා වැටී, ජීවන වියදම අහස උසට නැග ඇතැයි ද, දකුණු ආසියාවේ ඉහළම ජීවන වියදම තිබෙන්නේ ශ්‍රී ලංකාවේ යැයිද කියා සිටියේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නරක පුද්ගලයකු යැයි කියන්නේ නැතැයි ද 20න් ගෙනෙන බලතල තුළ යම් විදියකින් ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයාට උන්මත්තකයකු වුවහොත් යකා නටනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
විදේශයක පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකික පුරවැසියකුට ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමටත් මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට එන්නටත් අවස්ථාවක් හිමිවනවා. ධවල පත්‍රිකාවක් මගින් ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ජනතාවගේ අදහස් ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. 19 වැනි සංශෝධනය අරුමපුදුම විකෘතියක් ලෙස හුවෘදැක්වීමට දරන උත්සාහය තරයේ හෙළා දකිනවා. මෙම ධවල පත්‍රිකාව 2000 ව්‍යවස්ථාව හැදූ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට භාර දෙමු. එවිට හොඳ ව්‍යවස්ථාවක් ගෙන ඒමට හැකියාව ලැබෙනු ඇත. හරිදේ හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් බය නැහැ. කරුණු 24ක් යටතේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳව මූලික වෙනස්කම් දකිනවා. 20 තුලින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව අහෝසි වනවා. ජනාධිපතිවරයාට වගකීමක් වූ 'ආණ්ඩුක්‍රම' ව්‍යවස්ථාව අනුගමනය කරන බවට සහ ආරක්ෂා කරන බවට වන වගකීමත් ඉවත් කරලා. මෙමගින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු බවට වූ ප්‍රතිපාදනය ඉවත් කර ජනාධිපතිට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමට ඇති අවස්ථාව අහිමි කරලා.
තවද පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලද පනත් කෙටුම්පත් ජනමත විචාරණයකට ලක් කර සම්මත කිරීමේ බලය ජනාධිපතිට පැවරීම, ජනාධිපති අපේක්ෂකයකුගේ අවම වයස අවුරුදු 30 දක්වා අඩු කිරීම, ජාතික පොලිස් කොමිෂන් සභාවේ බලතල අඩු කිරීම, රාජ්‍ය සමාගම් විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයෙන් ඉවත් කිරීම ඇතුළු සංශෝධන ගණනාවක් 20 තුළින් එළියට එනවා. මේ අවස්ථාවට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මහාචාර්ය රොහාන් සමරජීව, ආචාර්ය පාක්‍යසෝනි සරවනමුත්තු, ජාවිඩ් යුසුප්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සුනිල් ජයසේකර යන මහත්වරුද සහභාගි වූහ.
-ජයන්ත සමරකොන්-