ජපානයේ ස්කයිඩ්‍රයිව් ඉන්කෝපරේෂන් සමාගම විසින් මිනිසුන් සහිත පියාසර කාරයක් පසුගියදා සාර්ථකව අත්හදා බලා තිබේ. ජපානයේ විශාලතම මෝටර් රථ සමාගම්වල සංවර්ධන පදනමේ නිවහන ලෙස සැලකෙන ටොයොටා පරික්ෂණ ධාවන පථයේදී මෙම අත්හදා බැලීම් ප්‍රදර්ශනය කර ඇති අතර, එය ජපාන ඉතිහාසයේ පියාසර කාරයක් සඳහා වූ පළමු වැනි මහජන ප්‍රදර්ශනය වූ බව විදෙස් වාර්තා පවසයි.




SD-03 ලෙස නම් වූ මෙය රියැදුරු (නියමුවා) සමඟ ගුවනට නැඟ, මිනිත්තු හතරක් පමණ ටොයොටා පරීක්ෂණ ධාවන පථය වටා ඉතා සැහැල්ලුවෙන් පියාසර කර තිබේ.  මේ ජයග්‍රහණය ගැන අදහස් දක්වමින් එම සමාගමේ ප්‍රධාන විධායක ටොමොහිරෝ ෆුකුසාවා, "ස්කයිඩ්‍රයිව් සමාගම ආරම්භ කර වසර දෙකක් තුළ ජපානයෙන් ප්‍රථම වරට මිනිසුන් සහිත පියාසර කාරයක් ලබාගැනීම ගැන අප අතිශයින් සතුටට පත්වෙනවා. අපේ ඉලක්කය හා අරමුණ වූයේ මෙම රථය වාණිජකරණය කිරීමයි” යනුවෙන් පවසා සිටියේය. "පියාසර කාර් යනු සෑමදෙනාටම ප්‍රවේශ විය හැකි සහ ගුවනේ පහසු ප්‍රවාහන මාධ්‍යයක් ලෙස සමාජගත කිරීමට අපට අවශ්‍යයයි. මේ හරහා මිනිසුන්ට ආරක්ෂිත සහ සුවපහසු නව ජීවන තත්වයක් අත්විඳීමට ලබාදීමටද අපට අවශ්‍යයයි." ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

SD-03 යනු විදුලියෙන් ක්‍රියාත්මක වන ලොව කුඩාම සිරස් ගුවන්ගත කිරීම් සහ ගොඩබෑම් සිදුකරන වාහනය වන අතර, එය නවතා ඇති මෝටර් රථ දෙකක පමණ ඉඩ ප්‍රමාණයක් ලබා ගන්නා බව සමාගම පවසයි. හදිසි අවස්ථාවලදී ආරක්ෂාව සහතික කිරීම සඳහා එයට විදුලි මෝටර් 08ක් ලබාදී තිබේ. කෙසේ වෙතත් මෙය පියාසර කාරයක් ලෙස හැඳින් වූවද, එය බැලූ බැල්මට ඩ්‍රෝන යානයක සහ කුඩා හෙලිකොප්ටරයක පෙනුම ගෙන ඇත.

එසේම එයට පියාසර කිරීමට අමතරව, ක්ෂණික සීරුමාරු කිරීමකින් සාමාන මෝටර් රථයක් සේ මාර්ගයේ ධාවනය කළ හැකිද යන්න පිළිබඳව සඳහනක් නොවෙයි. එනමුදු මෙම සාර්ථක අත්හදා බැලීම නිසා වසර අවසානය වනවිට මේ පියාසර කාරය, ටොයොටා පරීක්ෂණ ධාවන පථයෙන් පිටතදීද අත්හදා බැලීමට ඉඩ තිබේ. එමෙන්ම 2023 දී සමාගම විසින් පියාසර කාරය වඩාත් ආරක්ෂිතව ගුවන්ගත කිරීම සඳහා අඛණ්ඩ තාක්ෂණික සංවර්ධනයන් සිදුකරනු ඇති බවද සඳහන් වෙයි. කෙසේ වෙතත් මෙම පියාසර කාරයට තවම මිලක් නියම කෙරී නැත.