හෙයියන්තුඩුව, සමගි මාවතේ පිහිටි වඩුමඩුවක සඟවා තිබූ රුපියල් කෝටි 23ක් පමණ වටිනා හෙරොයින් තොගයක් එම වඩුමඩුවේ හිමිකරු ද සමග මීගහවත්ත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (2) අත්අඩංගුවට ගනු ලැබීය.  හෙරොයින් තොගය සඟවා තබාගන්නා ලෙස පවසා කොළඹ අපරාධ විමර්ශන
කොට්ඨාසයේ රාජකාරි කරන පොලිස් භටයකු වන තම මල්ලී විසින් ඔහුගේ අයියා වන මෙම සැකකරුට මීට මසකට පමණ ඉහතදී ගෙනැවිත් බාර දෙන ලද බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මේ බව අනාවරණය වීමෙන් පසු මීගහවත්ත පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් සැකකාර පොලිස් කොස්තාපල් අත්අඩංගුවට ගැනීමට කොළඹ  අපරාධ කොට්ඨාස මූලස්ථානයට ගොස් ඇත.  එම කොස්තාපල් හදිසියේ රෝගාතුර වූ බව කියමින් ප්‍රතිකාර ගැනීමට කොළඹ ජාතික රෝහලට යන බව කියා ඒ වනවිටත් පිටත්ව ගොස් ඇති බව දැනගැනීමට ලැබිණි  යැයි පොලිසිය කියයි.  මෙම කොස්තාපල් රෝහලට ගොස් නොමැති බව පරික්ෂණවලින් අනාවරණය වී යැයි පොලිසිය පවසයි.  තම සහෝදරයාට බාරදී තිබූ හෙරොයින්  තොගය පොලිසියට අසුවී ඇති බව දැනගත් සැකකරු උපක්‍රමශීලි ලෙස රාජකාරි ස්ථානයෙන් පිටව ඇති බව මේ අනුව පෙනී යන්නේ යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

කැලණිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතාගේ උපදෙස් මත මෙම කොස්තාපල් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් පරික්ෂණ පවත්වාගෙන යයි. හෙරොයින් ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 105ක් සමග මීට දින කිහිපයකට ඉහතදී මීගහවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවකු රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරිමේ දී හෙයියන්තුඩුව සමගි මාවතේ පිහිටි වඩුමඩුවේ අයිතිකරුගෙන් මෙම හෙරොයින් මිල දී ගත් බව ඔහු හෙළි කළේ යැයි ද එම නිලධාරියා කීය. වඩුමඩුව වටලා හෙරොයින් කිලෝ එක බැගින් අඩංගු පාර්සල් විසිතුනක්  සොයාගෙන එහි අයිතිකරු අත්අඩංගුවට ගනු ලැබූයේ ඒ අනුවය.


-ශ්‍රිනාත් ප්‍රසන්න-