රුසියාවේ වෛද්‍ය විද්‍යාල තුනක වෛද්‍ය උපාධි පාඨමාලාවලට ලබාදී තිබූ අනුමැතිය අවලංගු කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කටයුතු කරගෙන යයි. රුසියානු ජනතා මිත්‍රත්ව සරසවිය, පිරගොෆ් පර්යේෂණ වෛද්‍ය
සරසවිය සහ ත්වේරි රාජ්‍ය වෛද්‍ය විද්‍යා සරසවිය යන විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධිය මෙතෙක් පිළිගනු ලැබූ අතර මින් ඉදිරියට එම පිළිගැනීම අවලංගු කිරිමට නියමිත බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහන් කරයි. එම විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා සහ සායනික පුහුණුව සහ වෙනත් පහසුකම් ගැන පරික්ෂාකර ඒවායේ පවතින අඩුපාඩු හේතුවෙන් එම උපාධි පාඨමාලා නොපිළිගත යුතු බවට විද්වත් කමිටුවක් මගින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නිර්දේශ ඉදිරිපත් කර ඇති බව ද  ආරංචිමාර්ග සඳහන් කරයි.


මෙම වෛද්‍ය උපාධි පාඨමාලා  නොපිළිගැනීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නිරිදේශ කළ ද ඒ සඳහා අවසන් තීන්දුව ගැනීමේ බලය හිමිවන්නේ සෞඛ්‍යයට ඇමැතිවරයාට බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ප්‍රකාශකයෙක් පැවැසීය. මෙම විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිය ලබාගත් සිසුන් පිරිසකගේ සුදුසුකම් සලකා බැලූ විට ඔවුන් උසස් පෙළ අසමත් සිසුන් බව තහවුරු වූ නිසා ඔවුන්ට ඊ.ආර්.පී.එම්. විභාගයට පෙනී සිටීමට ඉඩ නොදුන් බව ද ඔහු කීය. එහෙත් එම සිසුන් අධිකරණ ක්‍රියා මාර්ගයකට ගොස් එම විභාගයට පෙනී සිටීමේ අවස්ථාව ලබාගත් බව ද එම ප්‍රකාශකයා කීය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අනුමත කරන විදෙස් වෛද්‍ය පීඨයකින් උපාධිය ලබාගත් පසුව එම  සිසුවාගේ උසස් පෙළ ප්‍රතිඵල සලකා බැලීම අනවශ්‍ය බව එම නඩු තීන්දුවේ සඳහන් වන බව ද ඔහු පැවැසීය.

එහෙත් උසස් පෙළ අසමත් සිසුන්ට පවා වෛද්‍ය උපාධියක් ලබාදෙන විදෙස් විශ්වවිද්‍යාල ගැන සලකා ඒවාට දැනට ලබා දී ඇති අනුමැතිය අහෝසි කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට කටයුතු කළ හැකි යැයි ද එම නඩු තීන්දුවේ සඳහන් වන බව ද හෙතෙම පැවැසීය.  එම රුසියානු වෛද්‍ය විද්‍යාලවලට ලබා දී ඇති අනුමැතිය අවලංගු කළ ද මේ වනවිට එම විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධිය හදාරමින් සිටින සිසුන්ට එය බලනොපාන බව ද එම ප්‍රකාශකයා කීය. සෝවියට් සමූහාණ්ඩුව පැවැති සමයේ ලුමුම්බා සරසවිය ලෙස ද හඳුන්වනු ලැබුවේ  මහජන මිත්‍රත්ව සරසවිය වේ.

-රංජන් කස්තුරි-