තලෙයිමන්නාරම මුහුදු තීරයේ ස්ථාන තුනකදී නීතිවිරෝධීව මසුන් ඇල්ලූ 30 දෙනෙකු දින 03ක් සිදු කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
යාපනය, මන්නාරම, ප්‍රදේශයන්හි පදිංචි 21 - 60 හැවිරිදි වියේ පසුවන පිරිසක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති. සැකකරුවන් විසින් ධීවර කටයුතු සදහා යොදා ගත් යාත්‍රා 08ක් හා ඔවුන් විසින් අල්ලන ලද මාළු කිලෝ 1750කට ආසන්න ප්‍රමාණයක්, ජීවිතාරක්ෂක උපකරණ තොගයක් හා
තහනම් දැල් තොගයක්ද නාවික හමුදා භාරයට ගෙන ඇත. උතුරුමැද නාවික විධානයන්ට අයත් සෙබළුන් විසින් කුඩුඉරිප්පු සපල්ලෙයිමුනේ හා වංකාලෙයි මුහුදුතීරයන්හි පසුගිය 14 වැනිදා සිට 16 වැනිදා සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී අදාළ ධීවරයන් නාවුක හමුදා භාරයට ගනු ලැබ තිබේ.

මේ අතර යාපනය කරෙයනගර් කසුරිනා මුහුදු තීරයේදී උතුරු නාවික විධානයට අයත් සෙබළුන් පිරිසක් විසින් සිදු කරන ලද සෝදිසියකදී කැස්බෑවුන් දෙදෙනෙකු ත්‍රිරෝද රථයකින් රැගෙන යමින් සිටි දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකරුවන් හා උපකරණ වැඩිදුර පරීක්ෂණ සඳහා යාපනය හා මන්නාරම සහකාර ධීවර පරීක්ෂක කාර්යාල වෙතට බාරදීමට පියවර ගෙන තිබේ.

- මධුශංක අමරසිංහ -