ත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපයු බවට පැවසෙන රුපියල් කෝටි 31ක මුදලක් බැර කරන ලද බැංකු ගිණුම් පවත්වාගෙන ගිය මීගමුව නගර සභාවේ කම්කරු සේවකයෙකු, මෝටර් රථ අමතර කොටස් වපාරිකයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු 23දා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය පවසයි.
සැකකාර කම්කරු සේවකයාගේ ගිණුමේ
රුපියල් කෝටි 18ක්ද ව්‍යාපාරිකයාගේ ගිණුමේ රුපියල් කෝටි 5ක්ද,
අනෙක් පුද්ගලයාගේ ගිණුමේ රුපියල් කෝටි 8 බැගින්ද බැරවී තිබූ බව පොලීසිය සඳහන් කරයි. ඉකුත් මැයි මස 22 දින රත්මලාන, ජයසුමන පාරේදී හොරෙන් මත්කුඩු ග්‍රෑම් 9 මිලිග්‍රෑම් 500 සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඩුබායි රටේ සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන එල්ලාවලගේ ධර්මසිරි පෙරේරා නොහොත් 'ධර්මේ' නොහොත් 'ඇලේටෝ' හා ඉතාලියේ සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවෙකු වන අමල් ශාමන් සිල්වා නොහොත්

 'රත්මලාන කුඩු අංජු' නමැත්තන් ඉමෝ තාක්ෂණය හරහා සම්බන්ධ වී විවිධ පුද්ගලයන් හරහා ලබාදෙන හොරොයින් මත්කුඩු සඳහා මුදල් බැර කරන ගිණුම් අංකය සොයා ගැනීමෙන් අනතුරුව සිදුකළ දීර්ඝ විමර්ශනවලදී මෙම සැකකරුවන් පිළිබඳ තොරතුරු අනාවරණ වූ බව පොලිස් නිලධාරියෙකු පැවැසීය. ඒ අනුව සිදුකළ විමර්ශනවලදී පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ගිණුමකට රුපියල් ලක්ෂ 4900ක මුදලක් ඉකුත් මාස හයක් තුළ තැන්පත්ව තිබූ බව අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් බැර වූ එම ගිණුම පවත්වාගෙන ගිය තැනැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබලදීම යටතේ ඉකුත් ජුනි මස අත්අඩංගුවට ගෙන සිදු කළ විමර්ශනවලදී එම ගිණුමේ තිබු මුදල් අන්තර්ජාලය හරහා වෙනත් බැංකු ගිණුම්වලට බැරවී තිබූ බවට අනාවරණය වීමෙන් අනතුරුව එය ඔස්සේ සිදුකළ විමර්ශනවලදී මෙම සැකකරුවන් තිදෙනා පිළිබඳ තොරතුරු වැඩිදුරටත් අනාවරණය වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. ඒ අනුව රත්මලාන ධර්මාරාම පාරෙ නිවසකදී 20 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහුගේ නමට තිබූ බැංකු ගිණුමේ ඉකුත් මාස කිහිපය තුළ රුපියල් කෝටි 8 මුදලක් තැන්පත්ව තිබූ බවට අනාවරණ වූ බව පොලීසිය පවසයි. රුපියල් කෝටි 18ක මුදලක් තැන්පත්ව තිබූ බැංකු ගිණුම පවත්වාගෙන ගිය මීගමුව නගර සභා සේවකයා සහ රුපියල් කෝටි පහක් තැත්පත්ව තිබූ බැංකු ගිණුම පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගනු ලැබූයේ 23දා එම සැකකරුවන් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ පෙනී සිටීමෙන් අනතුරුව බව උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.

ඉමෝ තාක්ෂණය ඔස්සේ ඉතාලියේ සහ ඩුබායිවල වෙසෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනාගෙන් ලැබෙන උපදෙස් අනුව ගිණුමට බැර වූ මුදල් ලබාගෙන විවිධ වාහනවලින් එම මුදල් ලබා ගැනීම සඳහා පැමිණන නාඳුනන පුද්ගලයන් වෙත ලබාදුන් බවත්, ඒ වෙනුවෙන් එක්වරකට රුපියල් තුන්දහස් පන්සියය බැගින් මුදල් ලද බවත් සැකකරුවන් තිදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී වැඩිදුරටත් අනාවරණ වූ බව උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය. එම සියලුම බැංකු ගිණුම් මේ වනවිට අත්හිටුවා ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. මීගමුව හා රත්මලාන පදිංචි සැකකරුවන් තිදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර, පොලිස් අධිකාරි (අපරාධ) රොහාන් පෙරේරා මහතුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ, ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජයන්ත පෙරේරා, උපපොලිස් පරික්ෂක මෙන්ඩිස් ඇතුළු නිලධාරින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.


 - බිමල් ශ්‍යාමන් ජයසිංහ -