රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ වෙත ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 350කින් ඉහළ නැංවීමට අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී තීරණය වී තිබේ.
සරසවි ප්‍රවේශ අවස්ථා ලබාදෙන සිසුන් සංඛ්‍යාව පසුගිය වර්ෂවලට සාපේක්ෂව සැලකිය යුතු අන්දමින් ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පසුගියදා ඉල්ලීම් කර තිබිණි.


ඒ අනුව ඒ සඳහා අවශ්‍ය පසුබිම සහ හැකියාව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ වෛද්‍ය පීඨ සහිත සියලු රජයේ විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් සහ පීඨාධිපතිවරුන් සමඟ සිදුකරන ලද සාකච්ඡා කිහිපයකින් අනතුරුව මෙම තීරණය ගත් බව  අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ 2019 වසරේ පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ සඳහා සිසුන් ඇතුළත් කිරීමේදී පසුගිය වර්ෂවලට සාපේක්ෂව වැඩි සිසුන් ප්‍රමාණයකට ප්‍රවේශ අවස්ථා ලබාදීමත්, ඒ තුළින් රටේ මානව සම්පතට එක්වන අනාගත වෛද්‍යවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීමත් අරමුණු කර ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි. ඒ අනුව සිසුන් වැඩි පිරිසක් රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ සඳහා එකවර ඇතුළත් කරගැනෙන පළමු අවස්ථාව මෙය වන බවද අමාත්‍යාංශය පැවසීය.

- නිදර්ශනී වික්‍රමසිංහ -