රුපියල් ලක්ෂ 50 කට  අධික වෙළෙඳ වටිනා කමින්  යුත් මත්කුඩු තොගයක්  පොල්ගෙඩි පහක් තුළ  සූක්ෂම ලෙස සගවා යතුරු පැදියකින් පින්නදුව අධිවේගි පිවිසුම වෙත රැගෙන එමින් සිටි අඹුසැමි යුවළක්
මොරගහහේන  පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (3) අලුයම අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය කියයි. මෙම මත්කුඩු තොගය ග්‍රෑම් 100 බැගින් පොල්ගෙඩි පහ තුළ අසුරා තිබූ බවත් එහි හෙරොයින් ග්‍රෑම් 500 යි මිලි ග්‍රෑම් 650 ක ප්‍රමාණයක් තිබූ බව පොලිසිය පවසයි.  පොල්ගෙඩි තුළ බහා සුක්ෂම ලෙස සිදුකරගෙන ගිය හොරොයින් ජාවාරමක් මෙලෙස අල්ලා ගත් ප්‍රථම අවස්ථාව මෙය බවද පොලිසිය පවසයි. සැකකාර අඹුසැමි යුවළට අමතරව මෙම මත්කුඩු ජාවාරමට සම්බන්ධ සැකකරුවන් තවත් දෙදෙනෙකු හා 18 හැවිරිදි තරුණියක අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

හෙරොයින් කිලෝවකට අධික ප්‍රමාණයක් සමග 2018 වසරේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ගාල්ලේ දී අත්අඩංගුවට ගනු ලැබ කළුතර බන්ධනාගාරයේ රිමාන්ඩ් බාරයේ සිටින මහ පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකුට අයත් මත්කුඩු මෙම පිරිස මෙලෙස ජාවාරම්කර ඇති බවත් අත්අඩංගුවට ගත් 18 හැවිරිදි තරුණිය එම මත්කුඩු ජාවාරම්කරුගේ දියණිය බවත් එම උසස් නිලධාරියා කීවේය.  බන්ධනාගාරයේ සිටින මහපරිමාණ මත්කුඩු ජාවාරම්කරුට අයත් හොරණ කුඩාඋඩුව ප්‍රදේශයේ පිහිටි පාළුවට ගිය නිවසක් කිසියම් පිරිසක් ශුද්ධ පවිත්‍ර කරන බවට මොරගහහේන පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් එම නිවසට පෙරේදා ගොස් එහි සිටි සැකකරුවන් පරික්ෂා කිරිමේ දී ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේ දී ඔවුන්ට මත්කුඩු ලබා දෙන්නේ ගාල්ල ප්‍රදේශයේ  ජාවාරම්කරුවන් බවට හෙළි වූ බව පොලිසිය සඳහන් කරයි.  එම අවස්ථාවේ එක් සැකකරුවකුගේ ජංගම දුරකථනයකට ගාල්ලේ ජාවාරම්කරුගෙන් ඇමැතුම් ලැබුණු බවත් හෙට උදේ බඩුගන්න පින්නදුව අධිවේගී පිවිසුමට එන්න යැයි එමගින් දැනුම් දී තිබූ බවත් පොලිසිය කියයි. ඒ අනුව සුක්ෂම ලෙස ක්‍රියාත්මක වූ මොරගහහේන පොලිසියේ පොලිස් කණ්ඩායමක් ඊයේ අලුයම සිට අධිවේගී පිවිසුම ආසන්නයේ රැඳී සිට ඇති අතර, පොල් සහිත පොහොර උරයක් රැගෙන යුවළක් යතුරුපැදියෙන් එම ස්ථානයට  උදේ 8.00 ට පමණ පැමිණ එහි සිටි සැකකරු අසලට ගොස් සිටියදී අවට රැක සිටි පොලිස් නිලධාරින් ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පොලිසිය සැකකාරිය ළග තිබු පොල් සහිත පොහොර උරය පරික්ෂා කිරීමේදී එම පොල් බිඳ ඒ තුළට සුක්ෂම ලෙස ඇතුළු කර තිබූ හෙරොයින් සොයා ගත් බවද පොලිසිය සඳහන් කරයි.

සැකකාර යුවළ අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔවුන් සතුව රුපියල් 1,40,000 ක මුදලක් ද තිබී ඇත. මෙම පොල් ගෙඩි බිඳ බෑ දෙක  වෙන් කර ටී බෑග්වල අසුරන ලද මත්කුඩු ඒ තුළ බහා පොල් බෑ දෙක එකට සිටින සේ සෙලෝටේප් වලින්  ඔතා තිබූ බවද පොලිසිය පවසයි. මොවුන් හෙරොයින් සහිත පොල් පාර්සලය දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුට බාරදීම සඳහා පින්නදූව බස් නැවතුම වෙත රැගෙනවිත් ඇති බවද පොලිසිය කියයි.  අඹුසැමි යුවළගෙන් ප්‍රශ්න කිරීමේදී  මෙම ජාලයේ මුදල් කටයුතු මෙහෙයවන 18 හැවිරිදි තරුණිය  සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී ඇය අක්මීමන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය රැඳී සිටි අක්මීමන නිවස සුවිසල් නිවසක් බවත් දැනට මාස දෙකකට පමණ පෙර ඔවුන් එම නිවස මිලදීන්ගෙන ඇති බවත් පොලිසිය කියයි.  සැකකාරිය සිය පියාගේ හොරොයින් ජාවාරමේ මුදල් කළමනාකරණය කරන බවත්, ජාවාරම්කරුවන් ඇය අතට මුදල් දුන් පසු සැකකාරියගේ පියා අදාළ ජාවාරමකරුවන්ට ඔවුන්ගේ ගෝලයන් මගින් හෙරොයින් දෙන බවත් පොලිසිය පවසයි. අත්අඩංගුචට ගත් සැකකරුවන් පස්දෙනා හොරණ අධිකරණයට  ඉදිරිපත් කර දින හතක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුරටත් ප්‍රශ්න කරගෙන යයි.

ඉන්දිකා රාමනායක - බිමල් ශ්‍යාමන් ජයසිංහ - බුද්ධික කුමාරසිරි