පොලිස් විශේෂ කාර්ය බළකායේ බව හඟවමින් කිරිඳිවැල ඉහළගම ප්‍රදේශයේ නිවසකට පැමිණ එහි තිබූ ලක්ෂ 58ක් පමණ වටිනා මෝටර් රථයක් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු කොළඹ, දුටුගැමුණු මාවතේදීත් අනෙක් පුද්ගලයා හොරණ ප්‍රදේශයේදිත් අත්අඩංගුවට ගත් බව කිරිඳිවැල පොලීසිය පවසයි.



එකී මෝටර් රථය තිබූ නිවසේ තරුණියෙකු හෙරොයින් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන අතර, එහිදී එම නිවසට පැමිණි කොල්ලකරුවන් පස්දෙනා හෙරොයින් ජාවාරම සම්බන්ධව මෝටර් රථය පරික්ෂා කළ යුතු බව පවසා ඉකුත් අගෝස්තු 30 සවස මෝටර් රථය රැගෙන ගොස් තිබුණි.

සිද්ධිය සම්බන්ධව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී හොරණ ප්‍රදේශයේ උගස් මධ්‍යස්ථානයකට ලක්ෂ 25කට උකස්කොට තිබියදී මෝටර් රථය සොයාගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විශ්‍රාමික යුද හමුදා භටයෙකු හා වරාය අධිකාරියේ පරිගණක අංශයේ සේවයේ නියුතු බවට පවසන පුද්ගලයෙකි. ඔහු මෝටර් රථය හිමි නිවසේ හිමියන්ගේ ඥාතියෙකුද වේ.

මෝටර් රථය උකස්කිරීම සිදුකර ඇත්තේ විශ්‍රාමික යුද හමුදා සෙබළා වන අතර, ඔහු මෙසේ ලබාගත් රුපියල් ලක්ෂ 25න් ලක්ෂ 20දී මීට ඉහතදී උකස්කොට තිබූ ජීප්රියක් උකසින් බේරාගෙන ඇති බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ. මෙහිදී සැකකරුවන් භාවිත කළ බවට පැවසෙන ජංගම දුරකථන තුනක්ද පොලීසිය භාරයට ගෙන තිබේ.

සැකකරුවන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රඳවා ගැනීමේ අධිකරණ නියෝග ලබාගැනීමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද රණසිංහ, ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික සිල්වා, සහකාර පොලිස් අධිකාරී වින්තක පීරිස් යන මහත්වරුන්ගේ උපදෙස් මත කිරිඳිවැල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මිලන්ත ද සිල්වා උපපොලිස් පරික්ෂක ප්‍රියංක හා පෙරේරා සැරයන්වරුන් වන කුමාර, රත්නායක, ජයසූරිය කොස්තාපල් ගයාන් ඇතුළු නිලධාරීහු පරීක්ෂණ සිදුකළහ.

- උපාලි රණවීර -