නව කොරෝනා වසංගතයේ ආරම්භයේ සිටම ඇමෙරිකානු කලාපයේ සෞඛ්‍ය සේවකයන් 570,000කට ආසන්න සංඛ්‍යාවකට COVID-19 වෛරසය වැලඳී ඇති බව පෑන් ඇමෙරිකානු සෞඛ්‍ය සංවිධානය පවසයි.



මෙම ආසාදිතයන්ගෙන් බහුතරය වයස අවුරුදු 30ත් 49ත් අතර අය වන බව එම සංවිධානයේ අධ්‍යක්ෂ වෛද්‍ය කරිසා එටියන් කියා සිටියාය. එහිදී එක්සත් ජනපදයේ සෞඛ්‍ය වෘත්තිකයන් 140,000කට වැඩි පිරිසක් COVID-19 නිසා රෝගී වී ඇති අතර, ඉන් 660 දෙනෙකු මියගොස් තිබේ. එමෙන්ම බ්‍රසීලයේ සෞඛ්‍ය වෘත්තිකයන් 270,000කට ආසන්න සංඛ්‍යාවක් වෛරසයට ධනාත්මක බව පරීක්ෂක්ෂා කර ඇති අතර, මෙය භයානක ආසාදන අනුපාතයක් බව වෛද්‍ය එටියන් කියා සිටියේ බ්‍රසීලයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 4ක සිමාවට පැමිණි පසුබිමකය.

මීට අමතරව කැරිබියානු කලාපයේ වෛරසය ඉහළ යාමක් දක්නට ලැබෙන බවත්, බහමාස් හි වාර්තා වී ඇති ආසාදිතයන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් පසුගිය සති දෙක තුළ වාර්තා වී ඇති බවත් ඇය සඳහන් කළාය. නමුත් ලතින් ඇමරිකාවේ බොහෝ රටවල පසුගිය සතිය තුළ නවතම ආසාදිතයන් සංඛ්‍යාව පහත වැටී ඇති බව පෙන්වා දුන් එටියන්, විශේෂයෙන්, චිලී සහ උරුගුවේ ආසාදන වක්‍රය සමතලා කිරීමට සමත් වී ඇති බව පැවසුවාය.