අම්පාර දමන පොලිස් බල ප්‍රදේශයේ හිගුරාන සීනි කම්හල ප්‍රදේශයේ නිවසක සිටි වයස අවුරුදු 90ක කාන්තාවක් නිදාගෙන සිටි මෙට්ටයට ගිනිගෙන පිළිස්සී මියගොස් ඇතැයි පොලිසිය කියයි.  මෙම ගින්න ඊයේ (23) අලුයම දැක ඇත්තේ යාබද නිවසේ අය විසිනි. නිවෙසේ සිටි පිරිසට කතා කර පරික්ෂා කරන විටත්
කාන්තාව මුළුමනින්ම පිළිස්සී සිටි බව යාබද නිවසේ පදිංචිකරුවෝ පැවසූහ.  පසුව අවට පිරිස් ගින්න නිවා දමා මෙම සිදුවීම පිළිබඳව දමන පොලිස් ස්ථානයට දැනුම් දුන්හ.

මෙම කාන්තාව මදුරු දඟරයක් ඇදේ මෙට්ටය මත තබා ගන්නට ඇතැයි පරික්ෂණ පවත්වන පොලිස් නිලධාරිහු විශ්වාසය පළ කරති. මෙසේ මියගොස් ඇත්තේ හිගුරාන එම්.එල්. කිව්. නිවාස වල පදිංචි එම්.ජී.  පේමාවතී නමැති 90 හැවිරිදි කාන්තාවකි.  මෙම මරණය පිළිබදව මහේස්ත්‍රාත් පරික්ෂණය අම්පාර අතිරේක මහේස්ත්‍රාත් ප්‍රදීප් ජයසිංහ මහතා විසින් සිදුකරනු ලැබිය.පසුව පශ්චාත් මරණ පරීක්ෂණය  අම්පාර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ලක්මාලි මහත්මිය විසින් සිදුකිරිමට නියමිතව තිබිණි.

-කුමාර සී ලියනආරච්චි-