ජනතා විරෝධය මැද, ජනතාව පීඩාවට පත් කරමින්, දිගටම බලයේ රැදී සිටීමට උත්සාහ ගන්නවා යැයි දොස් නගමින්, බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ සහ එරට ඉහළ පෙළේ නිලධාරීන් රැසක් අසාදු
ලේඛනයට ඇතුළත් කිරීමට අසල්වැසි බෝල්ටික් රටවල් පියවර ගෙන තිබේ. බෙලරුස් ජනාධිපතිවරයා සහ රජයේ ඉහළ නිලධාරින් 29 දෙනකු අසාදු ලේඛනයට ඇතුළත් කළ රටවල් වන්නේ එස්තෝනියා, ලැට්වියා සහ ලිතුවේනියාවය. මෙම රටවල් තුන යුරෝපා රටවලට පක්ෂපාතී වන අතර යුරෝපා සංගමයේ සාමාජිකයන් වෙති.
බෙලරූසයේ ජනාධිපතිවරණය පැවැත්වූයේ පසුගිය අගෝස්තු 9 වැනිදාය. එයින් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ සියයට 80 කට වැඩි ඡන්ද ප්රතිශකයක් දිනාගත්තේය. ප්රජාතන්ත්රවාදී විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඊට විරෝධය දැක්වූ අතර ලක්ෂ ගණනක් බෙලරූස් වැසියෝ මිනිස්ක් අගනුවරට රැස්වී විරෝධතා දක්වන්න වූහ. විරෝධතා තවමත් අඩුවක් නොමැතිව පැවැත්වෙන අතර, විපක්ෂ ක්රියාකාරිහු දහසකට වැඩි පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. විරෝධතාකරුවන් මර්දනයට ජනාධිපති ලුකෂෙන්කෝ පොලිසිය යෙදවුණු අතර, එය යුරෝපා සංගමයේ දැඩි විරෝධයට හේතුවක් විය.
ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ වසර 25 කට ආසන්න කාලයක් තිස්සේ බෙලරූස් ජනාධිපති ධුරය හොබවයි. ලුකෂෙන්කෝ , රුසියානු හිතවාදියකු වන අතර රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම මිතුරෙකි. බටහිර උසි ගැන්වීම් මැද බෙලරූසයේ නොසන්සුන්තා වර්ධනය වුවහොත්, බෙලරූසයට හමුදාව එවීමටත්, ලුකෂෙන්කෝ සහාය දැක්වීමටත් තමන් සූදානම් යැයි ජනාධිපති පුටින් පවසා ඇත.