“අම්මත් තාත්තත් තවදුරටත් දුක්විඳින්න ඕන නෑ. මගේ රත්රන් නංගිගේ අනාගතය යහපත් කරන්න මට
රස්සාවක් ලැබුණු දාට පුළුවන්” කියූ පවුලේ එකම පිරිමි දරුවා තම මවත් පියාත් එකම නැඟණියගේත්,
යහපත වෙනුවෙන්
රුපියල් සත සොයන්නට කරදිය වළල්ලෙන් එපිටට ගියේය. එහෙත් ඉන් කලකට පසු ඔහු ජීවිතයෙන් සමුගත්තේ යැයි මවකට පියකුට ඇදහිය හැකිද? ඒ දරු ස්නේහය අහිමි වීම මවක් පියෙක් කෙසේ නම් දරා ගන්නද? පවුලටම සිටි එකම සහෝදරයා දෑසට නොපෙනෙන මානයකදී සදහටම දිවියෙන් සමු ගත්තේ යැයි අසන්නට තරම් දුකක් වේදනාවක් එක කුස උපන් සහෝදරියක් කෙසේ දරා ගන්නේද? මේ මවට,
පියාට සහෝදරියට පමණක් නොව ගමේ සිටි දරුවකු මෙසේ ජීවිතයෙන් සමුගැනීම අසල්වැසියන් කෙසේ දරාගන්නද?


මේ ශෝකාන්තය ඇසෙන්නට වූයේ වැලිගම වරකපිටිය විස්කම් උයන ගම්මානයෙනි.
ඒ ඉකුත් අගෝස්තු මස 31 වැනි දින අබුඩාබි රාජ්‍යයේ ගෑස් ගබඩාවක වූ පිපිරීමෙන් අනතුරට ලක්වී මියගිය සමරවීරගේ සමිත් රංගන (28) තරුණයාගේ මරණයත් සමඟය. අබුඩාබි ගුවන්තොටුපොළ පාරේ පිහිටි
කේ.එෆ්.සී. හෝටලයේ මෙම ගෑස් ටැංකිය පුපුරායෑමෙන් 27 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව එම රජයේ මාධ්‍ය අනාවරණය කළේය. ඒ පිරිස අතර ශ්‍රී  ලාංකික තරුණයන් දෙදෙනකුද සිටි බව එම ආයතනය
දන්වා තිබිණි.

එම දෙදෙනාගෙන් වැලිගම වරකපිටිය විස්කම් උයන දිවියගලහේන වත්තේ පදිංචි සමරවීරගේ සමිත් රංගන
තරුණයාද ජීවිතක්ෂයට පත් වූ බව එම පවුලේ මවුපියන් දැනුම් දී තිබේ.

එහෙත් ඔහුගේ දේහය මේ වනතෙක් ශ්‍රී  ලංකාවට ගෙන ඒමට අවශ්‍ය කටයුතු සලසා නැත. වරකපිටිය මහ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ සමිත් ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වී මාතර මහ විද්‍යාලයට ඇතුළු වී උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරුවේය. පසුව තම පවුලේ ජීවන බර කරට ගත් සමිත් රංගන තම මවටත් පියාටත් පුතකු වශයෙන් ඉටු කළයුතු වගකීම හොඳින් අවබෝධ කරගෙන ඔහු විදේශ ගතවීමට තීරණය කළේය.

එහෙත් පවුලට සිටින එකම පිරිමි දරුවා තම දෑස ඉදිරියේ වෙනත් දේශාන්තරයකට යවන්නේ කෙසේ දැයි සිතාගන්නටවත් නොහැකි වූ සමිත්ගේ මව එල්. හෙට්ටිආරච්චි මහත්මිය එදින දෑසේ පිරුණු කඳුළු මතින් තම
පුතුට සුබ පැතුවේය.

තම දරුවා ඉතා ඉහළට ගෙන ඒම සෑම පියකුගේම අභිලාෂයයි. සමිත්ගේ පියාද සරත් අසෝක සමරවීර (60) තම පුතු දිනෙන් දින සමාජගතවන දෙස බලමින් උපේක්ෂාවෙන් දේව ආරක්ෂාව පැතුවේය.
ජීවිතය ජය ගැනීමට එම දරුවා විසින්ම යහපත් නිවැරැදි තීරණයක් ගත් විට එය ප්‍රතික්ෂේප කිරීමට දරුවාට ආදරය කරන මවකට පියකුට කිසිසේත්ම කළ නොහැකිය.

මේ සමිත් තරුණයාගේ ජීවිතය සාර්ථක වනු දැකීම හෙට්ටිආරච්චි මවගේද සරත් අසෝක සමරවීර පියාගේද ඒකායන අපේක්ෂාව විය. 1992 ජුනි මස 2 දින මෙලොව එළිය දුටු සමිත් මෙන්ම සමිත්ගේ නැඟණිය වුණු හංසනී මධුරංගි (22) වෙනුවෙන් අනේක විධ දුක් ගැහැට විඳිමින් ලොකු මහත් කළ පියා ප්‍රදේශයේ කාගේත් සිත් දිනාගත් ගොවි මහතෙකි.

මව ගෘහණියක් විලසින් දරුවන්ට ආහාර පාන ලබාදී වැඩෙන්නට පමණක් ඉඩ නොදී ගුණගරුක දරුවන් දෙදෙනකු සමාජ ගත කරන්නට නොදැරූ උත්සාහයක් නැත. කුසට අහරට වඩා තම දරුවන් දෙදෙනාට හොඳ අධ්‍යාපනයක් ලබා දී රටේ ඉහළ තැනකට ඔසවා තබන්නට අෑ නිතර සිහින දැක්කාය. ඒ සිහින සැබෑ කරමින් තම පුතණුවන් 2014 වර්ෂයේ අබුඩාබියේ රැකියාවට ගියේ වැඩ පරීක්ෂකවරයකු ලෙසිනි. ඒ රැකියාවේ නිරත වූ සමිත් රංගන මවත් පියාත්ස හෝදරියත් තම දෑස ඉදිරිපිට සිටිනවා සිතා සෑම මොහොතකම කටයුතු කළේය.

ඒ ඉඩ ලැබෙන සෑම තත්පරයකම දුරකථන ඇමැතුමක් ලබා දෙමින් ‘අම්මේ! අම්මට කොහොමද”අම්මේ! තාත්තට කොහොමද නංගි කෝ!” යනුවෙන් විමසන්නට අමතක නොකළේය. ජීවිතය බඳු වූ තම පවුලට ඇලුම්කළ සමිත් රංගනගේ පාසල් ජීවිතය නිම වීමත් සමඟ ඔහුගේ සිත සොරාගන්නට තරුණියක් සමත් විය. ඒ තම මවට පියාට නැඟණියට දෙවැනි නොවූ ස්නේහයකින් ඇති වූ ආදරය දිනෙන් දින මෝරා ගිය පසුගිය දිනක ඇය සමඟ අතිනත ගත්තේය.
ඔහු දින කිහිපයකට නිවාඩු ගෙන දිවයිනට පැමිණ පෙම්වතියට දුන් පොරොන්දු එලෙසින් ඉටුකරමින් අෑ සමඟ නීත්‍යනුකූලව විවාහ දිවියට ගිවිස ගත්තේය.

තම විදේශ රැකියාව අවසන් කිරීමෙන් පසු මංගල උත්සවයක් ගන්නා බවට පොරොන්දු වූයේය. ඔහුගේ ජීවිතය ඇය සමඟද මොහොතින් මොහොත එකිනෙක බැඳුණේ දුරකථන මාර්ගයකට සීමා වෙමිනි.


එබැවින් ඇය ගැන නොකියන්නට අපි වග බලා ගන්නෙමු. එහෙත් අගෝස්තු 31 වැනි දින දවල් 11 පමණ වන විට තම පෙම්වතාගෙන් නැතහොත් අනාගත සහකරුගෙන් වෙනදා නොලැබෙන දුරකථන ඇමැතුම නොලැබීමෙන් කලබලයට පත්වූවාය. ඔහුගේ දුරකථනයට ඇමැතුමක් ලබාගත්තද එයද අක්‍රිය වී තිබිණි. ඇය කලබල වී තම මවුපියන් දැනුවත් කළාය. එහෙත් ලංකාවේ වේලාවෙන් පෙරවරු 9.45ට පමණ මෙම පිපිරීම සිදුවී තිබිණි.

ඊට විනාඩි 45කට පමණ පෙර සමිත් රංගන තම මවට දුරකථනයෙන් අමතා “අම්මේ! මම භයානක හීනයක්
දැක්කා. මම ඊයේ රෑ හොල්මනකට බය වුණා” යනුවෙන් පැවැසුවේ වෙනදා මෙනි. එහෙත් මේ ඔහුගේ
අවසන් දුරකථන ඇමැතුම බව සිතන්නට නැත. “අම්මේ මම රෑ රාජකාරි විතරයි හැමදාම කළේ. ඒත් අද දවල් වැඩමුරය කිරීමට නියමිත යාළුවාට අද ලොකු වැඩක් තියෙනවලු. ඒ නිසා මම අද දවල් වැඩ කරනවා” කියා තම පුතා කියූ බව හෙට්ටිආරච්චි මහත්මිය පැවැසුවාය.

ඒ තම පුතාගෙන් ලැබෙන අවසන් දුරකථන ඇමැතුම බව ඇය කිසිසේත්ම නොසිතන්නට ඇති. දෙහිවල පිහිටි
විදේශ රැකියා ආයතනයකින් මේ තරුණයා රැකියාවට ගියද මේ වන විට ඔහුගේ දේහය ලංකාවට රැගෙන ඒමට මෙතෙක් කිසිවකු සමත් වී නැත. තම දරුවා අහිමි වූ මේ මවුපියන් ඉල්ලා සිටින්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු කර කඩිනමින් දේහය මෙරටට ගෙන එන ලෙසයි. ඒ
ඔවුන්ගේ එකම ඉල්ලීමය. සමිත්ගේ නිසල දේහය දැකගන්නට අවසන් බුහුමන් දක්වන්නට වරකපිටිය ගම්මානයේ ජනතාව මහත් වේදනාවෙන් බලා සිටිති. ඒ සමිත් වෙනුවෙන් කළ හැකි එකම යුතුකම එය වන බැවිනි.

මාතර _ උදය කුමාර රණවීර