බණ්ඩාරවෙල නගරයේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක් තුළ ගෙල කපාගෙන දැඩි අසාධ්‍ය තත්වයෙන් සිටි යුවළක් ඊයේ (14) දහවල් බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දියතලාව මූලික රෝහලට
මාරු කර යවා ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි සීදූව, රද්දොලුගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තිස් දෙකක පිරිමියකු හා වැල්ලවත්ත හැව්ලොක් ටවුන් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තිස් එකක කාන්තාවක මෙසේ ගෙල කපාගෙන  දැඩි අසාධ්‍ය තත්වයෙන් සිටියදී දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇත. 
මෙම යුවළ ඉකුත් 12 වන දින මෙම  හෝටලයට පැමිණ ඊයේ (14) පිටව යන බව පවසා හෝටල් කාමරයක් ලබාගෙන ඇති අතර දහවල් වනතුරුත් යුවළ කාමරයෙන් පිටතට නොපැමිණීමත් හෝටල් සේවකයන් කතා කළද කිසිදු තොරතුරක් නොමැතිවීමත්   හේතුවෙන් බණ්ඩාරවෙල පොලීසියට පැමිණිලි කර පොලීසිය සමග එක්ව දොර ඇර බැලීමේ දී ගෙල කපාගෙන අසාධ්‍ය තත්වයෙන් සිටි යුවළ සොයාගෙන තිබේ.

මේ දෙදෙනාම ගෙල කපා ගැනීමට තරම් නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, දෙදෙනාම අසාධ්‍ය තත්වයෙන් පසුවන බැවින් ප්‍රකාශ ලබාගැනීමට ද නොහැකිවී ඇතැයි පොලීසිය කියයි. බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අතුල ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන ජයතිලක මහතාගේ අධිෂ්ණය යටතේ බණ්ඩාරවෙල  පොලීසියේ නිලධාරිහු මේ පිළිබඳව පරික්ෂණ සිදුකරති.

-ඩී.කේ.රත්න-