කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාතයංශය ලබාදී ඇති සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන්නේ නම් දැනට පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නතර කර දැමීමට හෝ දින ගණන අඩුකිරීමට සිදුවන බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුනි මහතා ඊයේ
(2) පැවසීය.
ඉකුත් 18 වෙනි දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වූ මෙම පොත් ප්‍රදර්ශනය මෙම 27 දක්වා පැවැත්වේ .මෙම ප්‍රදර්ශන භූමියේ විශාල පිරිසක් සැරිසරන බවද සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පිළිබඳව ඔවුන් විශේෂ අවධානයක් යොමු  කළ යුතු අතර, මේ පිළිබඳව සකස් කළ වාර්තාවක් ඊයේ (21) සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෙත භාරදුන් බවද ඒ මහතා කීය.

මුබ ආවරණ පැළඳීම, දුරස්ථභාවය තබාගැනීම මෙන්ම අනෙකුත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලින් බැහැරව ඇතැමුන් කටයුතු කරන බවට මුල් දිනවල නිරීක්ෂණය වූ බව ද, මේ පිළිබඳව සංවිධායකයින් දැනුවත් කළ බව ද හෙතෙම සඳහන් කළේය. කෙසේ වෙතත් මේ පිළිබඳව සම්මන්ත්‍රණ ශාලාවේ සේවකයින්ට සහායවීම ප්‍රදර්ශන සංවිධායකයින්ගේ වගකීම බව ද ඔහු කිවේය.  එසේ නොවුණහොත් ප්‍රදර්ශනය අවලංගු කිරිමට හෝ දින ගණන සීමා කිරිමට සිදුවන බව ද ඔහු පැවසීය.

-ජයන්ත සමරකෝන්-