හනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පසුගියදා කුඩා හෝටලයක් සහිත නිවසක් මතට පස්මහල් නිවසක් කඩාවැටීමෙන් මියගිය එකම පවුලේ පිරිසගේ අවසාන කටයුතු සඳහා සහභාගීවීමට එංගලන්තයේ සිට පැමිණ
මියගිය චමිල ප්‍රසාද්ගේ වැඩිමහල් සොහොයුරා මේ වනවිට නිරෝධායන හෝටලයක රැඳී සිටින අතර සොයුරා ගැන මතකය අවදිකරමින් අනුවේදනීය කතාවක් හෙළි කළේය.
මල්ලී බලාගත්තේ තමන්ගේ හෝටලය බවත් කුඩා කළ සිට මාපියන් නැති අඩුව පිරිමසමින් තමන් සොයුරා රැක ගත් හැටිත් ඔහු එහිදී හෙළි කළේය. තමන්ගේ පවුලේ සොයුරන් තිදෙනෙකුම මේ ආකාර ලෙස අකාලයේ මියගිය බවද ඔහු හෙළි කළේය. ඔහු කියූ දේ මෙසේය.


“මේ සිද්ධිය වුණ අවස්ථාවේ දී මට හීනයක් වගේ. මට හිතාගන්න බැරි වුණා මල්ලිගේ වියෝව. මේ දවස්වල මේ රටට එන්න හරිම අමාරුයි. පැය 24ක් වැනි කෙටිකාලයක් තුළ මට මේ රටට එන්න අවස්ථාව හදලා දුන් විශේෂයෙන් ජනාධිපතිවරයාට සහ ආරක්ෂක ලේකම්ට, යුද හමුදාපතිට ස්තූතිවන්ත වෙනවා.

ඇත්තටම මගේ මල්ලි ගැන මම කියනවානම්, අපේ අම්මා අපිව දාලා යද්දි එයාට අවුරුදු 5යි. මම එතකොට උසස් අධ්‍යාපනය ලබමින් සිටියේ. එයා ඒ අවස්ථාවේ අම්මා නැතිවුණු දුකින් පෙට්ටිය යට අඬමින් ඉන්න වෙලාවේ, තුරුලු කරගත් තුරුලුකර ගැනිල්ල තමයි මේ වෙනතුරු මම එයාව බලාගත්තේ. තාත්තා කෙනෙක් වගේ, එයාගේ පොඩිකාලේ මල්ලිට අම්මාගේ සෙනහස අහිමිවෙනවා, පුංචි අම්මලා හිටියා ඒ අය එයාට තනිකම නැතිකරන්න සහය වුණා. මල්ලි කළුතර විද්‍යාලයේ ඉගෙන ගත්තා, රගර් කණ්ඩායමේ ක්‍රීඩා කළා, අචලා නංගි විවාහ වෙනතුරුම මම එයා පිටුපස්සෙන් හිටියා.

මගේ මල්ලි ඉතාමත් අවංක නිහතමානි පුද්ගලයෙක්, බෞද්ධයෝ හැටියට අපි කවදාවත් කිසිම කෙනෙකුට අපේ මල්ලි හිංසාවක්, හිතරිදීමක්වත් කරන්නේ නැහැ. මල්ලි මගේ හෝටලය පාලනය කරන කාලයේ ඇතැම් අක්‍රමිකතා සිදුවෙන විට එක වතාවක් සමාව දෙනවා, දෙවතාවක් සමාව දෙනවා, තුන්වෙනි වතාවත් සමාව දෙනවා, මම අහනවා මේ අය සැක්කරනවාද කියලා? මල්ලි කියනවා බේබි අයියේ මම කොහොමද මේ මිනිස්සු සැක්කරන්නේ, මෙයාලගේ දරුවෝ අවුරුද්දකට සැරයක් ඇවිත් මට බුලත් දීලා වඳිනවා. දෙමාව්පියෝ කරන වැරදි හින්දා ඒ ළමයිට දඬුවම් දෙන්න බැහැනේ කියලා වැරදි හදවා හදවා තියාගන්නවා.

කිසිම සේවකයෙක් අස්කරන්න ලෑස්ති වුණේ නැහැ, එච්චර නිහතමානියි. අපේ පවුලේ අයියලා දෙනෙක් නැති වුණා. ඒ අපේ ලොකු අයියා එයා අපෙන් වියෝවෙන කොට එයාට දුවලා දෙන්නෙක හිටියා. ඒ අක්කා ගුරුවරියක්. මගේ දෙවෙනි අයියාත් හදිසි අනතුරකින් නැති වුණා. එයාගෙත් දුවයි, පුතයි මල්ලි හදාගන්නවා. එක කාමරයක හිටියේ ඒ දුව තමා, මේ සියලුදෙනාටම තාත්තා කෙනක් වාගේ.
එයාට ආදරණීය බිරිඳක් හමුවුණා එයා දක්ෂ නීතිඥවරියක් වගේම දක්ෂ කථිකාචාර්යවරියක්, ඒයාට හමු වුණ අහිංසක නංගි කෙනක්, අපිහරි සතුටු වුණා, විවහාවෙලත් අවුරුද්දක් ඇති දැන්, ඊට පස්සේ මේ පැටියා හමුවුණා, මේ පැටියාගේ මුණයි මගේ වූටි මල්ලිගේ මූහුණයි දෙකම එකයි. පොඩිකාලේ ඒ අහිංසන හිනාව ඒ විදිහටම මෙයාට පිහිටලා තියෙනවා.

මේ සිද්ධිය සිද්ධවෙන්න පැය කිහිපයකට කළින්, අපි හැමවෙලාවේ ම සම්බන්ධ වෙනවා, මම කිව්වා ලොකු අප්පචිට හිනාවක් දෙන්න පැටියෝ කියලා, එතකොට හිනා වුණා. මට මට හිතාගන්නත් බෑ මට වාවගන්නත් බැරි ඒකයි, ඒ එයා මට දුන්න අවසාන හිනාව, ඉතින් කොහොම හරි එයාට හිටියා තව දරුවෙක්, එයාගේ බල්ලා “බෘනෝ“ එයා මෙයාව දැක්ක ගමන් පුදුම සතුටින් ඉන්නේ, මට හැමදාම එක අතකින් මගේ පුතා කියලා බෘනෝව පෙන්නවා. බෘනෝ එදා පහළ තට්ටුවේ හිටියේ, මෙයා පාන්දර 5ට විතර, මෙයා කූ කූ ගාලා, බුරලා නෙමෙයි, එතකොට බේරුණ දුව අනිත් කාමරයේ. දුවට තමා මේක ඇහිලා තියෙන්නේ, බල්ලා ඒ කියලා තියෙන්නේ දුවලා පළයන් කියලා.

මගේ මේ චමිල මල්ලී, අචලා නංගි, ඔනෙලා පැට්ටයි, ජීවිත පූජා කරලා, අපේ ජනතාවට හොඳ ආදර්ශයක්, පාඩමක් උගන්ලා ගියේ, අපේ ජීවිත තුළින්වත් පාඩමක් ඉගෙන ගන්න කියලා, මෙවන් අකල් මරණ කිසිදිනෙක සිදු නොවෙන්න වග බලාගන්න කියලා, මම හිතනවා අතිගරු ජනාධිපතිතතුමා මේ ගැන විශේෂයෙන් සළකා බලයි කියෙලා, මම අවසානයේ කියන්නට යන්නේ, මතු භවයක දී කවදා කොනැනක දී හෝ මගේම මල්ලිවෙලා අපි නැවත හමුවෙමු, තුරුණුවන්ගේ සරණයි“