දෙමටගොඩ පිහිටි ස්වර්ණාභරණ වෙළෙඳ සැලකින් රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියට අදාළව නමගිය අපරාධකරුවෙකු හා අපරාධකාරියක අත්අඩංගුවට ගැනීමට පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් සහාය ඉල්ලා සිටියි. මෙහිදී අංක 126/2014 යටතේ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු ලෙස
නම් කර තිබෙන ඉඹුලාන අප්පුහාමිලාගේ සුධර්ම සඳරුවන් හෙවත් අසේල සඳරුවන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බව පොලිස් මාධ්‍ය හා තොරතුරු කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

අංක 1146 යටතේ ලියාපදිංචි කර තිබෙන සමරකෝන් රාළලාගේ දිල්හානි කුමාරි නමැත්තියද අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බවත්, මෙම සැකකාරිය හා සැකකරු ව්‍යාජ නම් වලින් පෙනීසිටින බවත් හඳුනාගෙන තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.


පොලිස් මූලස්ථානයේ ඊයේ (16දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා, දිවයිනේ විවිධ පොලිස් වසම් තුළ විවිධ ගණයේ අපරාධ ගණනාවක් මෙම දෙදෙනා විසින් සිදු කර තිබෙන බවත්, ඒ පිළිබඳ අපරාධ වාර්තා කොට්ඨාසයේ අපරාධ ලේඛනාගාරයේ අදාළ වැරදි සම්බන්ධයෙන් ලේඛනගත කර තිබෙන බවත් පැවසීය.

සැකකරු හල්පේ පන්සල අසල මීරිගම, ඉඹුලාන ප්‍රදේශයේ පදිංචි බවත්, සැකකාරිය කරවිල කුඹුර, කටාන, මීරිගම ලිපිනයේ පදිංචි බවත් හෙතෙම පවසා සිටියේය. සැකකරුට මුදල් සොරකම් කිරීම, ඇඳුම් සොරකම් කිරීම, ආහාර සොරකම් කිරීම, මාලයක් සොරකම් කිරීම, රන් ආභරණ සොරකම් කිරීම, වෙළෙඳ සැලක් බිඳ මුදල් හා දේපළ සොරකම් කිරීම ආදී චෝදනා එල්ල වී තිබෙන බවත්, සැකකාරියට නිවසක් බිඳ දේපළ සොරකම් කිරීම, නිමි ඇඳුම් සොරකම් කිරීම, රන් මාලයක් සොරා ගැනීම වැනි චෝදනා තිබෙන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මෙම යුවළ විවිධ නම්වලින් පෙනී සිටිමින් නිවාස කුලියට ගෙන අපරාධ වලට සම්බන්ධ වන බවට තහවුරු වී තිබෙන බවත්, මොවුන් පිළිබඳ තොරතුරු පොලීසියට ලබාදී මෙම දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සහාය ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවත් එම මූලස්ථානය අවධාරණය කර සිටියි.

- එච්.අයි.තුෂාර -