“මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දෙන නමුත්, ඔවුන්ගේ ෆයිල්, බෑග් උස්සාගෙන යැමට පොලිස් නිලධාරීන් ලබාදිය නොහැකි” යැයි වාරිමාර්ග අමාත්‍ය හා අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු ආපදා කළමනාකරණ රාජ්‍ය
අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) පැවැසීය.  රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ  මහතා (ස.ජ.බ.) මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


බුද්ධික පතිරණ මහතා -  ඇමැති ආරක්ෂකයන් අඩු කිරිම මේ  දෙසීය විසි පහටම කරපු බරපතළ තර්ජනයක්. මත්ද්‍රව්‍යවලට එරෙහිව අරගල කරපු මන්ත්‍රීවරුන් මේ අතර ඉන්නවා. මේ පිළිබඳව වගකීම බාරගන්නේ ආරක්ෂක කවුන්සිලය ද?

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා - මම ඒ ගැන පොලිස්පතිතුමා එක්ක සාකච්ඡා කරන්නම්.

චමල් රාජපක්ෂ මහතා-  පොලිස් නිලධාරින් ඉන්නේ පොලිස් රාජකාරි කරන්නයි. අද පොලිසියේ ඉන්නේ අසූපන්දාහයි. තිස් අට දාහක්ම දීල තියෙන්නේ ඒ කටයුතුවලටයි. මහජනතාව ගැන විශ්වාසයක් නැති නිසයි මන්ත්‍රීවරුන් පොලිසිය ඉල්ලන්නේ. නැත්නම් පොලිසිය ඉල්ලන්නේ ෆයිල් උස්සන් යත්න ද? ෆයිල් උස්සන් යන්න, බෑග් උස්සන් යන්න පොලිසිය දෙන්නෙ නැහැ. අපි ආරක්ෂාව දෙන්නම්. රටටම  ආරක්ෂාව දෙනවා. මන්ත්‍රීවරුන්ට

පමණක් නොවෙයි සමන්ත  ජනතාවටම. මේක පටන් ගත්තේ 89දියි. එදා. මන්ත්‍රීවරුන්ට ආරක්ෂකයන් පස්  දෙනකු දුන්නා. තමන් කැමැති පහක්. එල්.ටී.ටී.ඊ. ප්‍රශ්නය නිසා තවත්  දෙනෙක් ද තුන් දෙනෙක්ද දුන්නා. හතර දෙනකු දීපු එක දැන් දෙන්නෙකු කරලා තියනවා.  සමහර පොලිස් කොට්ඨාසවල  පොලිස් රාජකාරි කරන්න පොලිස් නිලධාරින් නැහැ. තවත් නිලධාරින් බඳවා ගන්නවා. එතකොට කරන්න පුළුවන් දෙයක් බලමු.
-අංජුල මහික වීරරත්න-