කොළඹ සිට කළුතර දක්වා ගැඹුරු මුහුදේ ජලය තද කොළ පැහැ වීමට හේතුව නැවිකියුලා විශේෂයක් වන (Navigula SP) ඩයටම හෙවත් ඒක සෛලික ජීවීන්ගේ අධික වර්ධනයක් බව ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම් සිදුකළ ජාතික ජලජ පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (නාරා) මඟින් අනාවරණය කරගෙන තිබේ.
මෙම ජලජ ශාක ශරීරයට විෂ සහිත නොවන බවද ඔවුන් අනාවරණය කරගෙන තිබේ. මේ අතර ඊයේ දිනයේදී හලාවත මෝදර ප්‍රදේශවලින්ද මුහුදු ජලය කොළ පාටට හැරී ඇති බව ධීවරයන් විසින් ධීවර හා ජලජ සපත් දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ. වෙරළේ සිට කිලෝ මීටර 17ක් පමණ දුරින් කොළඹ සිට කළුතර දක්වා මුහුදු ප්‍රදේශය අධික කොළ පැහැවීමක් සිදුව තිබූ අතර, මේ සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ ධීවරයෝ නාරා ආයතනයට දැනුම් දී ඇත.
ධීවරයන්ගේ දැනුම් දීම මත සිදුකළ මෙම පරීක්ෂණයේදී ගැඹුරු මුහුද අධික කොළ පැහැති වීමට හේතුව ඩයටම නමැති ඒක සෛලික ජීවීන් අධික වර්ධනයක් බව අනාවරණය වුණා. මෙම ජීවීන් සම්බන්ධයෙන් මීට පෙර සිදුකර තිබූ පර්යේෂණද සලකා බලමින් එම ජීවීන් විෂ සහිත ජීවීන් නොවන බවද තහවුරු කරගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ එච්. ඩී. රෝහිත් මහතා පැවසුයේ කොළඹ සිට කළුතර ප්‍රදේශයට අමතරව හලාවත මෝදර ආදී ප්‍රදේශවලින්ද මෙම සිදුවීම සම්බන්ධව තොරතුරු වාර්තා වී ඇති බවයි. මේ ආකාරයට ගැඹුරු මුහුදු කොළ පැහැවී ඇති ස්ථාන නිවැරදිව හඳුනා ගනිමින් ස්ථානීය පරීක්ෂණයක්ද සිදුකිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා සඳහන් කළේය.
මේ දිනවල අයහපත් කාලගුණ තත්වයක් පවතින බැවින් ගැඹුරු මුහුදට ගොස් මේ සම්බන්ධයෙන් පරික්ෂා කිරීම අසීරු වී ඇති අතර, කාලගුණය යහපත් වූ සැණින් මේ සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණ සිදුකරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.පසුගිය 30 සහ 31දා මෙම ප්‍රදේශයේ මත්ස්‍යයන් ඇල්ලීම සඳහා මුහුදු ගිය ධීවරයෝ ප්‍රකාශ කර තිබුණේ ඔවුන්ගේ දැල්වල නානුමය ගතියක් සහිත කොළ පාට දියරමය, ඇලෙනසුලු ද්‍රව්‍යයක් ඇති බවය. මෙය ඩයි විශේෂයක් විය හැකි බව ධීවරයන් සැකකරන බවද ඔවුන් පැවසීය . කෙසේ වෙතත් මේ වනවිට බස්නාහිර පළාත ආශ්රිත ගැඹුරු මුහුදේ මෙම තත්වය වර්ධනය වීමක් ඇති බවද, බස්නාහිර පළාතේ විවිධ ප්‍රදේශවල ධීවරයන් සඳහන් කර සිටියහ.