යුරෝපය තුළ වාර්තා වන නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පසුගිය මාර්තු මාසයේදී එහි එම වසංගතය ආරම්භ වූ කාල සීමාවේදී පැවැති උපරිම මට්ටම හා සමාන අගයකට පත්ව ඇතැයි යුරෝපා සංගමයේ මහජන
සෞඛ්‍ය ඒජන්සිය පවසයි. ඒ අනුව යුරෝපය තුළ පාසල් යළි විවෘත කිරීම කිසි ලෙසකින්වත් නව තර්ජනයක් ඇති නොකරන බවත්, දැනටමත් තර්ජනයක් ඇතිව තිබෙන බවත් ඔවුන් පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රෝග වළක්වා ගැනීම සහ පාලනය පිළිබඳ යුරෝපියානු මධ්‍යස්ථානයේ ප්‍රධානී ඇන්ද්‍රියා ඇමොන් "වෛරසය ග්‍රීෂ්ම ඍතුවේදී නිදාගෙන හිටියේ නැහැ. එය කිසිම විදියකට නිවාඩුවක යෙදුණත් නැහැ." යනුවෙන් පවසා සිටියි. ඇය සඳහන් කරන ආකාරයට මෙම සතියේ දත්ත මගින් යුරෝපයේ ජනගහනයෙන් ලක්ෂයක පිරිසක් අතර ආසාදිතයන් වාර්තාවීම් 46ක් සිදුවන බව සටහන්ව තිබේ.  "අපි දැන් පසුගිය මාර්තු මාසයේදී අත්දැකපු තත්ත්වය හා සමාන තත්වයකට පත්වෙමිනුයි ඉන්නේ." ඇය පවසයි.

වාර්තාවලට අනුව මාර්තු මාසයේ අග වනවිට යුරෝපය තුළ මෙම ආසාදිතයන් වර්ධනය වීම ලක්ෂයකට 40 දෙනා බැගින් සිදුව තිබේ. එසේම එය අප්‍රේල් මාසය අවසන් වනවිට ලක්ෂයකට 70ක් දක්වා වර්ධනය වී ඇත. විශේෂයෙන්ම වර්තමානයේ සිදුවන මෙම ආසාදිතයන් ඉහළ යාම් වැඩි පරීක්ෂණ සංඛ්‍යාවක් සිදුකිරීම නිසා සිදුවන්නක් බවද එම මධ්‍යස්ථානය පවසයි.

මෙහිදී නව ආසාදිතයන් වාර්තාවීම් බොහෝමයක් තරුණ ප්‍රජාව අතර සිදුවීමත් කැපී පෙනෙන බව ඇය පවසයි. ඒ අනුව මෙම නව ප්‍රතිඵල වඩාත් ස්ථිර රෝහල්ගත කිරීමේ සංඛ්‍යාවක ලක්ෂණ ඇති කර ඇතැයිද ඇය පෙන්වා දෙයි. විශේෂයෙන්ම පසුගිය මාර්තු අප්‍රේල් මාසවලදී වැඩි වශයෙන්ම රෝගීන්, බවට පත්ව ඇත්තේ වයස්ගත පිරිස්ය.

මේ අතර බ්‍රිතාන්‍යයේ සුරැකුම් මධ්‍යස්ථානයක සේවය කළ 31 හැවිරිදි සාත්තු සේවිකාවකට ගෙවුණු මාස 5ක කාලය තුළදී දෙවතාවක් නව කාරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මෙහිදී ඇය එම කාලය තුළදී පස් වතාවක් පරීක්ෂාවට ලක්කර තිබේ. ඒ අනුව කොරෝනා ආසාදනය වී එක් වටයකට එය සුවවී යළිත් වටයකට එය ආසාදනය වූ දැනට ලොව හඳුනාගෙන ඇති පුද්ගලයන් පස් දෙනා අතරටද ඇය එක්ව සිටියි.

දරුවන් දෙදෙනෙකුගේ මවක වන ඇයගේ නම මෙතෙක් අනාවරණය කර නැත. එහෙත් පසුගියදා ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක් වටයකට නව කොරෝනාව වැලඳීමෙන් පසුව ඊට එරෙහිව ආසාදිතයාගේ සිරුර තුළ ප්‍රතිශක්තිකරණයක් නිෂ්පාදනය වන බවත්, ඇතැම්විට තමා විශේෂී අවස්ථාවක් විය හැකි බවත් ඇය පවසයි.