COVID-19 වෛරසය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රතිචාර දැක්වීම 'කම්පාවට' පත් කරනසුලු 'අවපාලනයකට' ලක්වුණු කරුණක් බව මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල්ගේට්ස් පවසයි. පසුගියදා මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු මේ බව පවසා ඇත.


"ඔබ සැවොම දන්නවා මේ නව කොරෝනාවට එරෙහිව සෑම පියවරක්ම කිසිඳු කළමනාකරණයකින් තොරවයි සිදුවුණේ. එය කම්පාවට පත් කරවනසුලු දෙයක්. මෙය විශ්වාස කරන්න බැහැ. අපි අද ලෝකය තුළ මේ නව කොරෝනාවට එරෙහිව නරකම ප්‍රතිචාරය දක්වන පිරිස බවට පත්වෙලා.”බිල්ගේට්ස් මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වළක්වා ගැනීම පිළිබඳ මධ්‍යස්ථානය මගින් COVID-19 රෝග ලක්ෂණ නොමැති පුද්ගලයන් සම්බන්ධයෙන් වන පරික්ෂා කිරීමේ උපදෙස් වෙනස් කිරීමට තීරණය කිරීම සම්පුර්ණයෙන්ම වැරද්දක් බවද බිල්ගේට්ස් පවසා තිබේ. එසේම ඔහු එරට ආහාර සහ ඖෂධ පාලනාධිකාරියේ කොමසාරිස්වරයාද දැඩි විවේචනයට ලක්කර ඇති අතර, නව කොරෝනාවට ප්‍රතිකාර ලෙස රුධිර ප්ලාස්මා සම්බන්ධව ඔහු සිදුකළ ප්‍රකාශය නොමඟ යවනසුලු අවස්ථාවක් බවටත් පවසා තිබේ.

මේ අතර, ට්‍රම්ප් නව කොරෝනා වෛරසයේ සත්‍ය පිළිබඳව ජනතාවගෙන් වසන් කිරීමට කටයුතු කිරීම පිළිබඳව අදහස් දක්වා ඇති එරට ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන බොබ් වුඩ්වර්ඩ්, ජනපතිවරයා පසුගිය පෙබරවාරියේදීවත් සිය ජනතාවට මෙහි සත්‍යතාව පිළිබඳව දැනුවත් කිරීමට අපොහොසත්ව ඇති බවට චෝදනා කර සිටියි. තමන් සමඟ පසුගිය පෙබරවාරි මාසයේදී පැවැත්වුණු සම්මුඛ සාකච්ඡාවකදී ට්‍රම්ප් මෙම නව කොරෝනාවේ ඇති බරපතළකම තමන් දන්නා බවත්, එහෙත් ජනතාව කලබල වේවි යැයි සිතෙන නිසා එය ඔවුන්ට අනාවරණය නොකරන බවත් පැවසූ බව වුඩ්වර්ඩ් පසුගිය සතියේදී ඊට අදාළ හඬ පටයක්ද සමඟ හෙළිදරව් කළේය.

"ඔහු පසුගිය පෙබරවාරි මාසයේදී කොංග්‍රස් මණ්ඩලය වෙත සුප්‍රසිද්ධ ස්ටේට් ඔෆ් යුනියන් දේශනය සිදුකළා. මෙය රට පුරා මිලියන 40කට අධික පිරිසක් නැරඹුවා. ඔහු එතැනදී නව කොරෝනාව වෙනුවෙන් යොදාගත්තේ තත්ත්පර 15ක් පමණයි. අපි මේ දේ හොඳින් කරනවා කියලා විතරයි ඔහු එතැනදී කිව්වේ." වුඩ්වර්ඩ් පවසයි. තවදුරටත් අදහස් දක්වන වුඩ්වර්ඩ් මෙවැනි අවස්ථාවදී නායකයෙකු ලෙස කළ යුතුව තිබුණේ, තමාට දැන් අනතුරු ඇඟවීමක් ලැබී ඇති බවට ජනතාවට ඇඟවීම බව සඳහන් කරයි. "ලොකු අර්බුදයක් මග එනවා. අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා” කියලා ඔහුට කියන්න තිබුණා. ඒත් ඔහු දැන් කියන්නේ මිනිස්සු බොරුවට කලබල වේවි කියලා ඇත්ත දැනගෙන ඒ දේ කිව්වේ නැහැ කියලයි. හැබැයි රටෙහි පවතින සැබෑව පිළිබඳව ජනතාව දැනගන්න බලාපොරොත්තුවෙන් ඉන්න දෙය එය නෙමෙයි." වුඩ්වර්ඩ් පවසා සිටියි.