අලුත උපන් බිළිඳුන් වෙත නව කොරෝනා වෛරසය ආසාදනය නොවීම සඳහා ඔවුන් වෙත ලැබෙන මවුකිරි මඟින් යම් උදව්වක් සැපයෙන බව චීනයේ විද්‍යාගාරයක් තුළ සිදුකළ අලුත්ම අධ්‍යයනයක් මගින් පෙන්වා දී
තිබේ. ඒ අනුව මෙම අලුත උපන් දරුවන්ගේ සිරුරු තුළ ප්‍රතිදේහ නොමැති වුවත්, ඔවුන්ගේ සෛල වෙත මෙම වෛරසය ආසාදනය වී ඒවා වර්ධනය වීම මෙම මවුකිරි නිසා වැළකෙන බව මෙහිදී හඳුනාගෙන ඇත.

චීනයේ රසායනික තාක්ෂණය පිළිබඳ බීජිං විශ්වවිද්‍යාලය මඟින් මෙම අධ්‍යයනය සිදුකර තිබේ. එසේම මෙහි ඇති විශේෂත්වය වන්නේ එළ කිරි හෝ එළු කිරි වැනි වෙනත් සත්ව කිරි වර්ග හා සැසඳීමේදී වඩාත් වැඩි බලපෑම් සහගත තත්ත්ව යක් මවුකිරි සතුව පැවතීම බවද මෙම පර්යේෂකයන් සඳහන් කර සිටියි. මෙම විද්‍යාගාර පර්යේෂණයේදී එම පිරිස වසංගතය ඇතිවීමට පෙරාතුව, එනම් 2017 වසරේදී රැස්කරගත් මවුකිරි වෙතින් මෙම වෛරසය වෙත පවතින බලපෑම පිළිබඳව අධ්‍යයනය කර ඇත.

එහිදී වඩාත් නිරෝගී සෛල කිහිපයක් ඔවුන් එම මවුකිරි සමඟ මිශ්‍ර කර ඇති අතර, පසුව එම මවුකිරි සෝදා ඉවත් කර ඇත. අනතුරුව එම සෛල වෛරසය වෙත නිරාවරණය කර තිබේ. ඒ අනුව කිසිවිටෙකත් එම වෛරසය සෛල සමඟ බැඳීමක් නොදැක්වූ බවත්, ඊට අමතරව එම වෛරසය සෛල වෙත ඇතුළුවීමක් හෝ ඒ තුළදී තවත් වෛරස ගුණනය කරගැනීමක් හෝ සිදු කිරීමටත් අවස්ථාවක් නොලැබුණු බවත් පර්යේෂකයන් පවසයි.

තමන්ගේ මෙම සොයාගැනීම ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් දැනට සිදුකර ඇති නිර්දේශ කිරීම් හා සහාය දක්වන බවත්, මෙම COVID-19 වසංගතයත් සමඟ මවුවරුන් තුළ තම දරුවන් වෙත මවුකිරි දීම පිළිබඳව උනන්දුවක් ඇති කරවන බවත් ඔවුන් වැඩිදුරටත් පවසා සිටියි.