නව කොරෝනා හෙවත් COVID-19 වසංගතයේ දරුණු ව්‍යාප්තියත් සමඟ ඈමෙරිකා එක්සත් ජනපද වැසියන් තුළ ආතතිය සහ විශාදය ඇතුළු මානසික අවපීඩනතා හට ගැනීමේ මට්ටම් දරුණු ලෙස ඉහළ නැග ඇතැයි අලුත්ම අධ්‍යනයකින් වාර්තා කර තිබේ.
පවතින දත්ත අනුව මේ වනවිට එක්සත් ජනපදය තුළ නව කොරෝනාව නිසා මරණයට පත්වූවන් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ඇති අතර, ආසාදිතයන් සංඛ්‍යාව හැටහත්ලක්ෂ හැටපන්දහස ඉක්මවා තිබේ.

එරට කැලිෆෝනියාහි අර්වින් විශ්වවිද්‍යාලයේ හැසිරීම් පිළිබඳ පර්යේෂණ සහ මානසික කම්පන පිළිබඳ සමීක්ෂණ ආයතනය මගින් මෙම අධ්‍යනය සිදු කර තිබේ. ඒ අනුව මෙහිදී ඔවුන් තෝරාගත් පුද්ගලයන් 6,500දෙනෙකු මේ සඳහා සම්බන්ධ කරගෙන ඇති අතර, විවිධ පුවත් මූලාශ්‍ර සහ සමාජ මාධ්‍ය හරහා ඔවුන්ට ලැබෙන තොරතුරුවල ගැටලුකාරී තත්ත්වය නිසා ජනතාව අතර ආතතිය වැඩිවීමට හේතු වී ඇතැයි එහිදී සොයාගෙන ඇත.

"මෙය අනෙක් අධ්‍යනයන්ට වඩා වෙනස්. මෙතැනදී අපි සිදු කළේ COVID - 19 වසංගතය ව්‍යාප්ත වීමත් සමඟ ජනගහනය පාදක කරගනිමින් ඇති වන මුල්කාලීන මානසික ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ ප්‍රවණතාව අධ්‍යයනය කිරීමයි." පර්යේෂණයේ ප්‍රධානී මානසික කම්පන තත්ත්වයන් පිළිබඳ අධ්‍යයන අංශයේ විශේෂඥවරියක පවසයි.

මෙහිදී ඔවුන් පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසයේදී දින 10ක කාලවිරාමයක් ඇතුළතදී සම්මුඛ සාකච්ඡාවකට බඳුන් කළ ජාතිකත්ව තුනකට අයත් පුද්ගලයන්ගෙන් ලබාගත් තොරතුරු සිය අධ්‍යයනයට යොදාගෙන ඇත.

"මේ පිරිස අතරින් ආසන්න වශයෙන් 23.5%ක ප්‍රමාණයක් පැවසුවේ ඔවුන් COVID - 19 ආසාදිතයන් බවට වරින් වර සිතූ බවය. එහිදී ඔවුන් මේ මානසික ව්‍යාකූලතාව නිසා විවිධ රෝග ලක්ෂණද පෙන්නුම් කර ඇත. එසේම බොහෝ පිරිසක් පැය හතකට අධික කාලයක් ප්‍රවෘත්ති වෙත යොමුව ඇති බවත්, එම කාලසීමාවේදී ඔවුන් තුළ ඇති වන ආතති තත්ත්වයන් ඉහළ ගොස් ඇති බවත් අධ්‍යයනය මගින් පෙන්වාදී තිබේ. ඒ අනුව වසංගතයත් සමග ජීවත් වෙද්දී ඔවුන් ඉන් තම දෛනික ජීවිතයට එල්ල විය හැකි බාධාවන් සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරවීම මෙලෙස ආතතිය සහ විශාදය වැනි මානසික කම්පන තත්ත්වයන් ඇති වීමට හේතුවී තිබෙන බව හඳුනාගෙන තිබේ. එහිදී සමාජය සමඟ මුසුවුවන්ට වඩා හුදෙකලාව වෙසෙන පුද්ගලයන් අතර මෙම තත්වය දරුණු ලෙස බලපා ඇත.