අධිකරණ පද්ධතියටත් විනිසුරුවරුන්ටත් අපහාස වන අයුරින් පුවත් පළ කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබූ වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස් මහතා ලබන 14 වැනිදා
තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය ඊයේ (1) නියෝග කළාය.

පරිගණක අපරාධ පනතේ 6 වැනි වගන්තිය ප්‍රකාරව මෙම සැකකරු වරදක් සිදුකර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.ක්. සේනාරත්න මහතා සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය. අධිකරණ පද්ධතියටත් විනිසුරුවරුන්ටත් අපහාස වන අයුරින් පුවත් ප්‍රචාරය කර ඇතැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත.

ඉකුත් මැයි මාසයේදී කරන ලද මෙම පැමිණිල්ලට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව නීතිපතිවරයාගේ උපදෙස් මත සැකකරු පෙරේදා (31) බොරලැස්ගමුවේ ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කළේය.

මෙම සැකකරු (Lanka news web .org) ලංකා නිවුස් වෙබ් ඕ ආර් ජී නමැති වෙබ් අඩවියේ පරිපාලක ලෙස කටයුතු කරන අයකු බවත් ඔහු කුමුදුනී වික‍්‍රමසිංහ, ද්විකා තෙන්නකෝන්, නවාස් යන විනිසුරුවරුන්ට අපහාස වන අන්දමේ පුවතක් අදාළ වෙබ් අඩවියේ ප්‍රචාරය කර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය. පැමිණිල්ලට අනුව සැකකරුට අයත් ජංගම දුරකථන දෙකක් සහ පරිගණකයක් පරික්ෂාවට ලක් කළ බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු සඳහන් කළේය.

සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ ශිරාල් ලක්තිලක මහතා කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ තම සේවාදායකයා මෙම වෙබ් අඩවියේ ඇඩ්‍මින් ලෙස කටයුතු කරන බවත් මේ කියන ඊමේල් පණිවිඩය ඔහු විසින් ප්‍රචාරය කර නොමැති බවත්ය. එබැවින් තම සේවාදායකයා පරිගණක අපරාධ පනත ප්‍රකාරව වරදක් සිදු කර නොමැති බැවින් ඇප පනත ප්‍රකාරව ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබාදෙන ලෙසට ද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය තව දුරටත් සිදුවෙමින් පවතින බැවින් සැකකරු ඇප මත මුදා හැරීම පිළිබව තරයේ විරුද්ධ වන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ අධිකරණය සැකකරු ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය.

- නිමන්ති රණසිංහ -