ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වා මහතාගේ පියාගේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයකුට ගල්කිස්ස වෙරළබඩ පාරේ දී ධනංජය සිල්වාගේ වැඩිමහල් සොයුරා පහරදුන් බවට ලද පැමිණිල්ලක් අනුව එම සොයුරා පෙරේදා (5)
අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි. සිද්ධියෙන් අනතුරුව ධනංජය සිල්වාගේ සොයුරාට තර්ජනය කළ බව කියන පැමිණිලිකරු සහ ඔහුගේම සොහොයුරා ද එදිනම 5 රාත්‍රී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

නාගරික මන්ත්‍රී රංජන් ද සිල්වා මහතාගේ ඝාතනයට සම්බන්ධව පැමිණිලිකාර සැකකරු මහාධිකරණයෙන් ලද ඇප මත සිටින අතර ඔහුට රන්ජන් ද සිල්වා මහතාගේ නිවස පිහිටි ප්‍රදේශයට යාම තහනම් කර තිබූ අතර සාමය කඩ වන අයුරින් කටයුතු නොකරන ලෙස ද නියෝග කර තිබූ බව පොලිසිය කියයි.

සැකකරුවන් තිදෙනාම පොලිස් ඇප මත මුදා හැරිමට ඊයේ (6) කටයුතු කළ බවත් අද (7) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස දැනුම් දීමටත් පියවර ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. ගල්කිස්ස කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න, පොලිස් අධිකාරි සමන්ත වෙදගේ මහත්වරුන්ගේ උපදෙස් මත ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක දිලිප සී. පෙරේරා, සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එස්.යූ. තෙන්නකෝන් මහත්වරු පරික්ෂණ පවත්වති.