දියවැඩියාව හා පිළිකා රෝග ඇති වීම ශීඝ්‍ර ලෙස ඉහළ යමින් තිබෙන අතර, 2008 වසර වන විට රටේ ජනගහනයෙන් 20%කට දියවැඩියාව තිබූ බවත්, එම ප්‍රමාණය මේ වනවිට 26% දක්වා ඉහළ ගොස් තිබෙන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මීට දශක දෙකකට පමණ ඉහත දී පිළිකා රෝගය
සම්බන්ධයෙන් පැවතියේ මහරගම පිළිකා රෝහල පමණක් බවත්, එහිදී දිනකට රෝගීන් පහක් හයක් පිළිකා රෝගය හේතුවෙන් ලියාපදිංචි වූ බවත් එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (10දා) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.

මේ වනවිට පිළිකා රෝහලට අමතරව රට පුරා පිළිකා ඒකක ඇති වී තිබෙන බවත්, එවැනි තත්ත්වයක් තුළදී මේ වනවිට මහරගම පිළිකා රෝහලට පමණක් දිනපතා රෝගීන් 78 ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වන බවත් ඒ මහතා පවසා සිටියේය.

මීට දශක ගණනාවකට පෙර වයස්ගත පුද්ගලයන්ට ඇති වූ හෘද රෝග, දියවැඩියාව, පිළිකා වැනි රෝග තත්වයන් මැදි වයසේ පසුවන පිරිසටද වැලඳෙන තත්ත්වයකට පත්ව තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

මීට අමතරව දියවැඩියාව රෝගය සැලකීමේදී වයස අවුරුදු දොළහකට අඩු දරුවන්ටද ඇති වී තිබෙන බවත්, මේ අනුව බෝ නොවන රෝග මේ වනවිට බෝවන රෝග හා සමානව පැතිර යමින් තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.

මීට අමතරව වසවිස ආහාරයට ගැනීම හේතුවෙන් හඳුනා නොගත් වකුගඩු රෝගයක්ද පැතිර යමින් තිබෙන බවත්, මේ හේතුවෙන් ගොවි පරපුරම අවදානමකට ලක්ව තිබෙන බවත් අනුරුද්ධ පාදෙණිය මහතා පවසා සිටියේය. මීට අමතරව මීට පෙර මද්‍යසාර භාවිත කළ පිරිස්වලට අක්මාව දියවීමේ රෝගය ඇති වූ බවත්, එහෙත් මේ වනවිට මද්‍යසාර භාවිත නොකරන පිරිස් අතරද අක්මාව දියවීමේ රෝගය විශාල ලෙස ඉහළ යමින් තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

ආහාරය ඖෂධයක් ලෙසට ගත යුතු සංකල්පය ඉවත් වී ගොස් ඖෂධ ආහාර ආකාරයට ගන්නා තත්ත්වයකට පත්ව තිබෙන බවත්, මේ නිසා සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා ගැනීමට ජනතාව කටයුතු කළ යුතු අතර, මස් වර්ග සැලකීමේදී පිළිකා කාරක බවට පත්ව තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

කෝවිඩ් -19 සැලකීමේදී මරණයට පත් පුද්ගලයන් ලක්ෂ පහක් අධ්‍යයනය කිරීමට ජාත්‍යන්තරය කටයුතු කර තිබෙන බවත්, මේ අනුව මියගිය ලක්ෂ පහක ප්‍රමාණයෙන් 90% ආසන්න ප්‍රමාණයක් මියගොස් තිබෙනුයේ බෝ නොවන රෝග පැවැති පිරිස් බවත් පාදෙණිය මහතා සඳහන් කළේය. මේ අනුව බෝවන රෝගයකින් මරණයට පත්වීම සඳහා බෝ නොවන රෝග පසුබිම් සකස් කරන බවට පැහැදිලි වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

සාමාන්‍යයෙන් පාසල්වලට වෛද්‍යවරුන් පැමිණෙනුයේ, ඇස් ආබාධ සහිත දරුවන් නිරීක්‍ෂණය කිරීමට හා උපතින් ඇස් ආබාධ තිබෙන දරුවන් බැලීමට බවද ඒ මහතා පවසා සිටියේය. එහෙත් ආහාර සංස්කෘතිය සම්පුර්ණයෙන් විකෘති වී තිබෙන නිසා දරුවන් රෝගීන් බවට පත්ව තිබෙන බවද අනුරුද්ධ පාදෙණිය මහතා වැඩිදුරටත් පැවසීය.

- ඉන්දික හේවාවිතාරණ -