ඩයනා කුමරියගේ හැටවන ජන්ම සංවත්සරය වෙනුවෙන් ඇයගේ පිළිරුවක් පිහිටුවීමට ඇගේ පුතුන් දෙදෙනා තීරණය කර තිබේ. කේම්බ්‍රිජ්හි ආදිපාද විලියම් කුමරුගේ සහ සසෙක්ස්හි ආදිපාද හැරී කුමරුගේ නියමය පරිදි
මෙම ප්‍රතිමාව ඉදි කෙරෙනු ඇති බව කෙන්සින්ටන් මාලිගාව නිවේදනය කර තිබේ. 2021 වසරේ ජුලි මස පළමුවැනිදා මෙම ප්‍රතිමාව මාලිගය ඉදිරිපිට ස්ථාපනය කිරීමට නියමිතය.

එලඹෙන සඳුදා දිනට ඩයනා කුමරිය මිය ගොස් වසර 23කි. එදිනට මෙහි කටයුතු නිමා කිරීමට තීරණය කර  තිබුණද කොරෝනා වෛරසය හේතුවෙන් මෙම ප්‍රතිමාවේ කටයුතු නිම කිරීම පමා වූ බවද කෙන්සින්ටන් මාලිගය නිවේදනය කර තිබේ.

Ian Rank-Broadley නම් කලාකරුවා විසින් මෙම ප්‍රතිමාව තනනු ලැබෙන අතර එක්සත් රාජධානියේ භාවිතා වන සියලුම මුදල් කාසි මත එලිසබත් මහ රැජිනගේ ප්‍රතිමූර්තිය නිමවා ඇත්තේ ද මෙම චිත්‍රශිල්පියා විසින් බව සඳහන් වේ.

කෙසේවෙතත් ඩයනා කුමරියගේ ජීවිතය සහ ඇය ලොවට දායාද කළ දේ නැවත ආවර්ජනය කිරීමට මෙම ප්‍රතිමාව උපකාරී වනු ඇතැයි විලියම් සහ හැරී විශ්වාස කරයි.
රිෂ්මි ඉෂාරා