බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර ඇති සුප්‍රසිද්ධElgin Marbles නම් ප‍්‍රතිමාව එහි මුල් හිමිකාරිත්වය සහිත ග්‍රීසිය වෙත ලබාදෙන ලෙස එක්සත් ජනපදයේ ' කොංග්‍රස් මණ්ඩල සාමාජිකයන් 18 දෙනෙකු පසුගියදා බ්‍රිතාන්‍ය අගමැති  බොරිස් ජොන්සන් වෙත ලිපියක් මගින් දන්වා ඇතැයි වාර්තා වෙයි.



කෞතුකාගාරයේ තැන්පත් කර ඇතැයි කාගේත් අවධානයට යොමුව ඇති මෙම ප්‍රතිමාව දශක ගණනාවක් පුරා මෙම රාජ්‍යයන් අතර මතභේදයක් ඇති කිරීම සඳහා හේතු වී ඇති බවත්, ග්‍රීසියට දැන්වත් මෙම ප‍්‍රතිමාව අවශ්‍යව ඇති බව සඳහන් කරමින් එක්සත් ජනපද කොංග්‍රස් සභිකයන් මෙම ලිපිය ලියා තිබේ.


බ්‍රිතාන්‍යයන් විසින් සිය අතපෙවීම් හෝ යටත්විජිත පාලනයන් පවත්වාගෙන ගිය රාජ්‍යයන්ට අයත්ව තිබූ පුරාවස්තු තමන් සතු කරගනිමින් සිය කෞතුකාගාර තුළ ප්‍රදර්ශනයට තබා තිබීම කවුරුන් දන්නා ප්‍රසිද්ධ රහසකි. එහිදී ඔවුන් සිය යටත් විජිත පාලන ප්‍රදේශයන්හි සිට රැගෙන ගිය එම රාජ්‍යයන්ට ආවේණික වටිනා පුරාවස්තු රැසක් තවමත් බ්‍රිතාන්‍ය කෞතුකාගාරය ඇතුළු තවත් කෞතුකාගාර තුළ නැත්පත් කර තිබේ.

අසල්වැසි ඉන්දියාව මෙවැනි කෞතුක වටිනාකමකින් යුතු සිය ඉපැරණි භාණ්ඩ නැවතත් තමන් වෙත ලබාදෙන ලෙසට බ්‍රිතාන්‍යයන්ට බලකරමින් සිටියි. ශ්‍රී ලංකාවෙන්ද රැගෙන ගිය බොහෝ කෞතුක වස්තූන් රැසක් බ්‍රිතාන්‍ය කෞතුකාගාරය තුළ ප්‍රදර්ශනයට තබා තිබේ. මීට අමතරව ඊජිප්තුව, ඉපැරණි පර්සියාව (අද ඉරානය), මෙසපොතේමියාව, මොරොක්කෝව ඇතුළු රාජ්‍යයන් රැසක තිබූ පුරාවස්තු රැසක් මෙලෙස බ්‍රිතාන්‍ය සිය කෞතුකාගාර තුළ ප්‍රදර්ශනයට තබා තිබේ.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය රැගෙන විත් ඇති ග්‍රීසියේ මෙම Elgin Marbles ප්‍රතිමාව සම්බන්ධයෙන් කතාබහ ඇති වෙද්දී බ්‍රිතාන්‍ය මාධ්‍ය ඒ සම්බන්ධයෙන් මැදිහත් වන ඇමෙරිකානු එක්සත් ජනපද කොංග්‍රස් සභිකයන් වෙත පහරගසමින් ඇමෙරිකාව මෙතෙක් කාලයක් සිදුකර ඇති එවැනි පුරාවස්තු මංකොල්ල කෑම් පිළිබඳවද මතක් කරදෙයි.


ඒ අනුව එක්සත් ජනපද හමුදාව සිදුකළ ඉරාක ආක්‍රමණයෙන් පසුව පැහැරගෙන ආ පුරාවස්තු මෙන්ම, ඊට පෙර අවස්ථාවලදී ආන්දෝලනයට ලක් වූ පුරාවස්තු පැහැර ගැනීම් පිළිබඳවද සඳහන් කරයි. එසේම ඇමෙරිකානුවන් එරට මුල් පදිංචිකරුවන් වූ රතු ඉන්දියානුවන් සම්පුර්ණයෙන්ම විනාශ කර දැමූ ආකාරය මෙන්ම, අද දවසේදී එක්සත් ජනපදයට අයත් ගුආම් දූපතේ මුල් පදිංචිකරුවන්ගේ පුරාවස්තු විනාශ කර දැමූ ආකාරයද එහි ඇත.

1901දී ඇමෙරිකානු හමුදාවන් පිලිපීනයේ කතෝලික පල්ලියකට අයත්ව තිබී එරටට රැගෙන ගිය සීනු ඒ අතරින් ආසන්නතම අවස්ථාවක් වන අතර, 2018 වසරේදී ඒවා නැවතත් පිලිපීනය වෙත භාර කිරීමට එක්සත් ජනපදය පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත් පෙරදිග රාජයන්හි තිබූ මෙම පුරාවස්තු බොහෝමයක්ම අපරදිග පිහිටි බලවත් රාජ්‍යයන් විසින් මංකොල්ල කෑ බවට සාක්ෂි රැසක් පවතී. අද ඔවුන් සිය ප්‍රධානතම ආදායම් මාර්ග බවට පත් කරගෙන ඇත්තේද මෙම පුරාවස්තු ප්‍රදර්ශනයෙන් ලැබෙන ආදායමයි. ඒ නිසා මෙම රාජ්‍යයන් ඒ සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කරනවාට වඩා එම පුරාවස්තූන්හි සැබෑ මුල් අයිතිකරුවන්ට භාරදීම දැන්වත් කළ යුත්තක් බව ලෝකයේ පුරාවිද්‍යාඥයන් සඳහන් කරයි.