අන්තර්ජාලය ඔස්සේ රථවාහන කුලියට දිම සඳහා පළකරන දැන්වීම් සොයා පැමිණ වාහන හිමිකරුවන් නොමග යවා වාහන රැගෙන ගොස් එම වාහන නැවත ලබාදීමට ලක්ෂ ගණනින් මුදල් ගසා කන සොර
කල්ලියක් මීගහවත්ත පොලිසිය විසින් පෙරේදා (6) අත්අඩංගුවට ගනු ලැබීය. මෙම ජාවාරම අනාවරණය වූයේ හලාවත ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වෙන්නප්පුව පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවය. එම ව්‍යාපාරිකයා තම වැගන්-ආර් වර්ගයේ කාර් රථය කුලියට දීම සඳහා අන්තර්ජාලයේ දැන්වීමක් පළකර ඇත.

එම දැන්වීමට අනුව ඔහු සොයා පැමිණ ගිරිඋල්ල සහ දිවුලපිටිය ප්‍රදේශයේ දෙදෙනකු මසකට රුපියල් ලක්ෂයක් ලබාදීමේ පොරොන්දුව මත එම කාර් රථය කිසිදු ගිවිසුමක් නොමැතිව රැගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි. එහිදී අත්තිකාරමක් ලෙස රුපියල් ලක්ෂ පහ හමාරක චෙක්පතක් ඔහුට ලබා දී ඇති අතර සතියකට පසු එම චෙක්පත බැංකුගත කිරීමට යාමේදී වාහන හිමිකරුට බැංකුවෙන් දැනුම් දී ඇත්තේ එය වසා දමන ලද ගිණුමකට අයත් චෙක්පතක් බවයි.

ඒ අනුව වාහනය රැගෙන යාමට පැමිණි පුද්ගලයන් ලබාදුන් දුරකතන අංකවලට මේ බව දැනුම් දීමට උත්සාහ කර ඇතත් ඒවා ව්‍යාජ  දුරකතන අංක බවට අනාවරණය වීම නිසා වාහන හිමිකරු මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත. ටික දිනකට පසු පුද්ගලයකු විසින් එම ව්‍යාපාරිකයාට දුරකතන ඇමතුමක් දී ඔහුගේ වාහනය අලුත්වැඩියා කිරීමට රුපියල් ලක්ෂ හතර හමාරක් පමණ වැය වූ බවත් එම මුදල රැගෙන දේශගොඩ නගරයට පැමිණ වාහනය රැගෙන යන ලෙසත් දන්වා ඇත. එම දුරකතන ඇමතුමෙන් පසු ව්‍යාපාරිකයා විසින් මේ පිළිබඳව මීගහවත්ත පොලිසියට දැනුම් දී එම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සහ තවත් නිලධාරියකු සමග දෙල්ගොඩ නගරයට පැමිණ සිටියදී සුඛෝපභෝගී ජීප් රථයකින් පැමිණි ජාවාරම්කරුවන් අදාළ ව්‍යාපාරිකයාගෙන් චාහනය දීමට පෙර මුදල් ඉල්ලා ඇත. මෙහිදී සිවිල් ඇඳුමෙන් සැරැසී සිටි අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ජිප් රථය ඉදිරිපසින් රියැදුරු අසුන වෙත ගමන් කරද්දී එම නිලධාරියා ද හැප්පීමට තැත් කරමින් ජීප් රථය  පලා ගොස් ඇති බව පොලිසිය කියයි.

පසුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව පලා ගිය ජීප් රථය සමඟ සැකකරුවන් තිදෙනකු උපක්‍රමශීලීව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී ඇත්තේ මොවුන් මෙවැනි වංචනික ක්‍රියා රැසක් පසුගිය කාලයේ සිදු කර ඇති බවයි. මේ වනවිට හලාවත ව්‍යාපාරිකයාගෙන් රැගෙන ගිය මෝටර් රථයද කටුනායක හා අලුත්ගම ප්‍රදේශවලින් රැගෙන ගොස් තිබූ තවත් වාහන තුනක්ද පොලිසිය විසින්  සොයාගෙන ඇත.  මොවුන් විසින් මේ අයුරින් රැගෙන ගිය තවත් රථවාහන ඇත්දැයි සොයා පොලිසිය විමර්ශන සිදු කරයි.


-පුබුදු කිර්ති-