අභියාචනාධිකරණ සභාපති මිනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා ඉවත් වන බව ඊයේ (16) විවෘත අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ශාන්තිනී ස්කන්ධරාජා මහත්මිය ගොනු කළ එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ඉදිරියේ ඊයේ (16) කැඳ වූ අතර එහිදී සභාපති විනිසුරු නවාස් මහතා විවෘත අධිකරණය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ පෞද්ගලික හේතුවක් මත තමන් මෙම නඩු විභාගයෙන් ඉවත් වන බවය. ඒ අනුව මෙම පැමිණිල්ල මින් ඉදිරියට විභාග කිරීම සඳහා මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නම් කරන බව ද අභියාචනාධිකරණ සභාපතිට විනිසුරුවරයා විවෘත අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.
දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීනී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් බොදුබල සේන සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, මුලතිව් ප්‍රදේශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, මුලතිව් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටියහ. ගොනු කර ඇති පෙත්සමේ මෙසේ ද සඳහන් වේ. මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ අනවසර ඉදිකිරීමක් පිළිබදව හබයක් පැවතිණි. මෙම තත්වය තුළ සාමාන්‍ය පුරවැසියන්ට එම ස්ථානයට යාම තහනම් කර තිබිණි. තත්ත්වය මෙසේ තිබිය දී එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් අපවත් වූහ. අපවත් වූ හිමියන් ගේ දේහය මෙම ප්‍රශ්නගත ප්‍රදේශයේ ආදාහනය කිරීමට පිරිසක් සූදානම් වූහ. මෙම තත්වය තුළ ප්‍රදේශයේ නොසන්සුන්කාරී ස්වභාවයක් උද්ගත විය.
ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් පෙත්සම්කරු ද ඊට සහභාගි විය. කෙසේ නමුත් මුලතිව් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මේ පිළිබඳව මහේස්ත්‍රාත් උසාවියට සැලකිරීම හේතුවෙන් අධිකරණය අපවත් වූ හිමියන් ගේ දේහය ප්‍රශ්නගත ප්‍රදේශයේ ආදාහනය කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය. පෙත්සම්කරු එම ස්ථානයේ සිටියදීම ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු සංඝයාවහන්සේලා පිරිසක් පැමිණ අපවත් වූ හිමියන්ගේ දේහය තහනම් කළ ප්‍රදේශයට රැගෙන ආහ. ඉන්පසු එම ස්ථානයේ දී අපවත්වූ හිමියගේ මෘත ශරීරය ආදාහනය කළහ. මේ ක්‍රියාවෙන් ඥානසාර හිමියන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇත. මීට පෙර ද ඒ හිමියන් අධිකරණයට අපහාස කිරීමේ වරදට වරදකරු වී වසර 5ක සිර දඬුවම් නියම කෙරිණි. පසුව ජනාධිපති සමාව ප්‍රදානය කිරීම හේතුවෙන් නිදහස ලැබිණී. එබැවින් මේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණෙයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන ලෙස පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත. පෙත්සමීකරු වෙනුවෙන් නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා පෙනී සිටීයේය.
-තිළිණි ද සිල්වා, රංජන් කටුගම්පොළ-