මෙම ප්‍රහාරය ගැන පියාට තොරතුරක් ලැබි තිබු බව තමස වැඩිමහල් සහෝදරිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව තමාට දුරකථනය ඇමතුමක් දී දැනුම් දුන් බවත් ඇයට පල්ලි නොයන ලෙස පියා අවවාද කර ඇති බවත් හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පාස්තකු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙරේදා ප්‍රකාශ කළේය.  ඒ වන විට තම පියා සිටියේ
කොළඹ නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයේ බව ද ඔහු පැවසීය.  ඔහු මේ බව පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි.  සහරාන්ලාගේ ප්‍රහාරය එල්ල වූ දිනට පෙර දින එනම් 2019 අප්‍රේල් 20 වැනිදා රාත්‍රි 8ට පමණ මුස්ලිම් අන්තවාදීන් සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ඒ හා සම්බන්ධ සිදුවීම් ගණනාවක පරීක්ෂණවලට සම්බන්ධ වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැරයන් නන්දලාල් යන නිලධාරියා හරීන් ප්‍රනාන්දු මහතාගේ පියාට එනම් නිහාල් ප්‍රනාන්දු මහතාට විනාඩි හයක දුරකථන ඇමතුමක් ලබාදී ඇති බව ද සහරාන්ලාගේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු දැන ගන්නට ඇත්තේ එම ඇමතුමෙන් විය හැකි බව ද පැවසූ රජයේ නීතිඥවරයා ඒ ගැන තමන් දන්නේ දැයි හරින් ප්‍රනාන්දු මහතාගෙන් විමසුවේය. හරින් ප්‍රනාන්දු මහතා ඉහත ප්‍රකාශය කළේ එයට පිළිතුරු වශයෙනි.


තම සහෝදරිය එසේ පැවසූ පසු තමන් වහාම කොළඹ නවලෝක රෝහලට පැමිණ පියා හමුවීමට ගොස් ඒ ගැන විමසූ විට තමුසෙට වඩා දේවල් අපි දන්නවා” යැයි පැවසුවා හැර වෙනත් කිසිවක් නොකී බව ද ඔහු පැවසීය. පසුව දැනගන්නට බලාපොරොත්තු වුවද පියා මියගිය නිසා ඒ ගැන මීට වඩා යමක් දැනගත නොහැකි වූ බව ද ඔහු පැවසීය. මේ පිළිබඳව තමන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී පැවසූ විට ඔහු තමන් වෙත ලිපියක් ඉදිරිපත් කළ බව ද එය විශේෂ ආරක්ෂක ඒකකයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලූෂන ප්‍රියලාල් මහතා විසින් ඇමති ආරක්ෂක, අධිකරණ ආරක්ෂක, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක ප්‍රධානීන්ට යොමු කරන ලද ලිපියක් බව දැනගත් බව ද ඔහු පැවසීය.  එම ලිපියේ පල්ලිවලට ප්‍රහාරයක් එල්ල කිරිමේ අවදානමක්  ඇති බව සඳහන්ව තිබූ බව ද එම තොරතුර පොලිසිය ඇතුළු  ආරක්ෂක අංශවල බොහොමයක් දෙනා දැන සිටි බවට තමන් විස්වාස කරන බව ද හරින් ප්‍රනාන්දු මහතා පැවසිය.

පාස්කු ඉරුදින ප්‍රහාරයේ වගකීමෙන් කොටසක් ව්‍යවස්ථා විරෝධීව හා සදාචාර විරෝධිව පත්කරන ලද දින පනස් දෙකේ  ආණ්ඩුව ද භාරගත යුතු බව ද ඔහු පැවසීය. මෙම ආණ්ඩු පෙරළියෙන් පසුව යළි එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව පත් වුව ද ජනාධිපති හා අගමැති අතර මනා සබඳතාවක් නොපැවති බව ද ඔහු පැවසීය.  මෙම සිදුවීමෙන් පසු ජාතික ආරක්ෂාව සම්බන්ධ කාරණාවල දී හිටපු ජනාධිපතිවරයා අගමැති රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, පොලිස්පති පූජිත් ජයසුන්දර ඉවත් කළ බව ද ඔවුන්ට ආරක්ෂක කවුන්සිලයට සම්බන්ධවීමට දැනුම් නොදුන් බව රටම දන්නා කාරණාවක් බව ද ඔහු පැවසීය.
(මුදිතා දයානන්ද)