ජංගම දුරකතනයේ ඉමෝ යෙදවුම  ඔස්සේ කාන්තාවකට නිරුවත පෙන්වූ බව  කියන පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ වැටලීම් ඒකකයේ (මත්ද්‍රව්‍ය) ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස්
පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කළ බව සහකාර පොලිස් අධිකාරි ඩි.යූ.පී. අමරතුංග මහතා පැවසීය.  විදේශගතව සිට මෑතකදී පැමිණි බව කියන කාන්තාවකට පොලිස් පරික්ෂකවරයා නාන කාමරයක සිට ඉමෝ යෙදවුම ඔස්සේ නිරුවත පෙන්වා අයුතු යෝජනාවක් කළ බවට කරන ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව එම පියවර ගත් බව සහකාර පොලිස් අධිකාරිවරයා කීය.

පොලිස් පරික්ෂකවරයා ඉමෝ යෙදවුම ඔස්සේ නිරුවත පෙන්වන අවස්ථාවේදී පැමිණිලිකාරිය එහි ඡායාරුප කීපයක් ජංගම දුරකථනයෙන් ලබාගෙන පැමිණිල්ල සමග ඉදිරිපත් කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග කියයි.  මෙම පැමිණිලිකාරියගේ සහෝදරයා වැඩ තහනමට ලක් වූ පොලිස් පරික්ෂකවරයා විසින් හෙරොයින් මත්කුඩු සමග පසුගිය 24 දින අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර තිබූ අතර, දින කීපයක් ගතවෙද්දී මෙම සිද්ධිය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. එයින් දින කිහිපයකට පසුව වැඩ තහනමට ලක්වූ පොලිස් පරික්ෂක හා පැමිණිලිකාර කාන්තාව අතර ජංගම දුරකථන කථාබස් (චැට්) අදහස් ද හුවමාරු කරගෙන යම් සුහදතාවක් ඇති කරන්ගෙන තිබූ බව පැමිණිල්ල සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීමේදී අනාවරණය වී යැයි සහකාර පොලිස් අධිකාරි අමරතුංග මහතා පැවැසීය.


-බිමල් ශ්‍යාමන්-