වගමුව කොතලාවල පාසල් මාවතේ නිවෙසක් මතට පෙරේදා (6) රාත්‍රී අඩි තිහක් පමණ උසින් යුත් තාප්පයක් කඩාවැටීමෙන් තරුණියක මියගොස් තිබේ. මෙම සිද්ධියෙන් තවත් දෙදෙනකු තුවාල ලබා
රෝහල්ගත කරන්නට සිදු විය. මියගොස් ඇත්තේ ඉෂාරා ශ්‍යාමලී නමැති වයස අවුරුදු 28ක තරුණියකි.
තුවාල ලබා ඇත්තේ ඇයගේ මව සහ සහෝදරයකු බව පොලිසිය කියයි. ඔවුන් ප්‍රතිකාර සඳහා මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කර ඇත.

නිවෙසට යාබදව තිබෙන ඉඩම් වෙන්දේසි සමාගමකට අයත් ඉඩමක අඩි තිහක් පමණ උසින් යුත් බිලොක් ගල්වලින් බඳින ලද තාප්පයක් මෙම නිවෙස මතට කඩා වැටී තිබේ. තාප්පය නිවෙස මතට කඩාවැටෙන අවස්ථාවේදී නිවෙසේ සියලු දෙනාම නින්දට ගොස් තිබූ බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය දන්වා ඇත. එම නිවසේ පදිංචි තරුණිය එක කාමරයකත් තරුණයන් දෙදෙනා තවත් කාමරයකත්, මව නිවෙසේ සාලයේත් නින්දට ගොස් තිබූ අතර සිදුවීමෙන් පසු කඩා වැටුණු තාප්පය සහ නිවෙසේ සුන්බුන් තරුණිය නිදා සිටි ඇඳ මතට වැටී ඇති බව නිරීක්ෂණය වී ඇත.

තාප්පය ඉතා අනාරක්ෂිත අයුරින් බ්ලොක් ගල් යොදා ඉදිකර තිබුණේදැයි සොයා බැලීමට පරික්ෂණ පවත්වන බව පොලිසිය කියයි. සිදු වූ අනතුර සම්බන්ධයෙන් අදාළ ඉඩම් වෙන්දේසි සමාගමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසා ඇත. සිද්ධිය වූ ස්ථානයට නවගමුව හදිසි මරණ පරීක්ෂක ඩබ්ලිව්. නිමල් මහතා පැමිණ මූලික පරීක්ෂණ පැවැත්වීය. නවගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දිනේෂ් අත්තරගම මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් (56992) රෝහිත මහතා ඇතුළු නිලධාරිහු පරික්ෂණ පවත්වති.
(බිමල් ශමන් ජයසිංහ)