ඉන්දියාව ගෙවීගිය දිනයේ නව කොරෝනා වෛරසය ආසාදිතයන් 90,633ක් සමඟ, එරට සමස්ත ආසාදන ලක්ෂ 41ක් ඉක්මවා වාර්තා කර තිබේ.




ගෝලීය දෛනික COVID-19 වෙරසය ආසාදිතයන් සැලකීමේදී මේ දක්වා වැඩිම දෙනික ආසාදන වාර්තා වීම ලෙස මෙය සැලකෙන අතර, ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 4,113,812ක් දක්වා ඉහළ යෑමත් සමඟ, ලොව දෙවනුවට වැඩිම ආසාදන වාර්තා වන බ්‍රසීලය පසුකර යෑමට ඉන්දියාව සැරසී ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

බ්‍රසීලයේ සමස්ත ආසාදිත අගය ඊයේ (06දා) සටහන් වූයේ 4,123,000ක් ලෙසිනි. ඉන්දියාවේ සමස්ත ආසාදනවලින් 862,320ක් සක්‍රීය ආසාදිතයන් වන අතර, රෝගීන්ගෙන් 31,80,866ක් දැනට සුව අතට පත්වී ඇත. කෙසේ වෙතත් ගෙවීගිය දිනයේ තවත් ආසාදිත මරණ 1,065ක් වාර්තා වීම තුළ රටේ සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 70,626ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන්දියාවේ ආසාදන මේ ආකාරයෙන් ශීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කිරීම තුළ එරට අසල්වැසි රාජ්‍යයන් තම COVID-19 සෞඛ්‍යාරක්ෂක පිළිවෙත් ලෙස මුඛ ආවරණ පැලඳීම, දෑත් සේදීම, සමාජ දුරස්ථභාවය හැකිතාක් ආරක්ෂා කිරීම වැනි දේ වෙත යළි යළිත් යොමුවීමේ හා අවධානය යොමුකිරීමේ වැදගත්කම ඉස්මතු කරයි.