ලොව ජනප්‍රියතම ක්‍රිකට් තරඟාවලි අතුරින් අයි.පී.එල්. හෙවත් ඉන්දියන් ප්‍රිමියර් ලීග්. තරඟාවලියට තරම් ඉහළ ප්‍රේක්ෂක අවධානයක් හිමිවන තරඟාවලියක් නොමැති තරම්ය. 2008 වර්ෂයේදී ආරම්භ වූ මෙම තරඟාවලිය මෙවර සිය 12වැනි උපන්දිනය සැමරීමට සූදානමින් පසුවන්නේ එයට ඇති ආකර්ෂණය තවමත් නොඅඩුව ලැබෙන පසුබිමකය.



නමුත් ලොව පුරා ක්‍රීඩා ක්ෂේත්‍රයට 'කෝවිඩ්-19' වෛරසයෙන් සිදුවූ බලපෑමට සමගාමීව අයි.පී.එල්. තරඟාවලියටද එය දැඩිව බලපෑ අතර, එය තරඟාවලිය මාස 06ක කාලයක් ප්‍රමාද කිරීමටද හේතු විය. එමෙන්ම මෙවර තරඟාවලියේදී ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනෙකුද විවිධ හේතු මත සහභාගි නොවන බව දන්වා සිටීම හේතුවෙන් තරඟාවලියේ උණුසුමට යම් බලපෑමක් එල්ල කළ හැකි බව විචාරක මතයයි. මෙවර තරඟාවලියට එක් නොවන ප්‍රබල මුහුණු කිහිපයකි.

ලසිත් මාලිංග

තරඟාවලියේ ආරම්භයේ පටන්ම සිය සලකුණ සනිටුහන් කළ මාලිංග මේ වන විට එහි පුරාවෘත්තයක් බවට පත්වී හමාරය. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු බවට පත්වූ මාලිංග වසර 12ක් තුළ අයි.පී.එල්. හි තරඟ 122කදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 170කි.

මාලිංග සතු වූ පිතිකරුවන් භීතියට පත් කළ යෝකර් පන්දුව, අවසන් පන්දුවාරවලදී ලකුණු වේගය අඩාළ කළ හැකි පන්දු යැවීම මෙන්ම වසර ගණනාවක අත්දැකීම්ද තරඟාවලියේ ඔහුට සුවිශේෂී වටිනාකමක් එක් කිරීමට සමත් විය.

පසුගිය අයි.පී.එල්. තරඟාවලියේ අවසන් මහා තරඟයේ අවසන් පන්දුවාරයේදී ශුරතාව මුම්බායි ඉන්දියන්ස් වෙත හැරවීමට මාලිංගට හැකිවීමද ඔහුගේ දක්ෂතාව මනාවට කියා පෑවේය. පෞද්ගලික හේතුවක් මත මාලිංග මෙවර තරඟාවලියට සහභාගි නොවන බව දන්වා ඇති අතර, මුම්බායි කණ්ඩායම ඔහු වෙනුවට ඔට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස් පැටින්සන් කණ්ඩායමට එක් කරගෙන ඇත.

මිචෙල් මැක්ලහැන්, ජස්ප්‍රිට් බුම්රා, ට්‍රෙන්ට් බෝල්ට්, හර්දික් පාණ්ඩ්‍යා හා නවක ක්‍රීඩක ජේම්ස් පැටින්සන් වැනි දක්ෂ ක්‍රීඩකයන් රැසක් මෙවර මුම්බායි කණ්ඩායමට සිය දායකත්වය ලබා දුන්නද මාලිංගගේ අඩුව මෙවර මුම්බායි කණ්ඩායමට දැඩිව දැනෙනු ඇති බව විදෙස් විචාරකයන්ගේ මතයයි.


සුරේෂ් රයිනා

නායක මහේන්ද්‍ර සිං දෝනිට අමතරව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පිතිකරණ අංශය ශක්තිමත් කළ ක්‍රීඩකයෙකු ලෙස සුරේෂ් රයිනා හැඳින්විය හැක. අවශ්‍ය විටකදී කණ්ඩායමේ ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කිරීමට හැකියාවක් ඇති රයිනා අයි.පී.එල්. ඉතිහාසයේ වැඩිම තරඟ සංඛ්‍යාවකට සහභාගි වූ ක්‍රීඩකයාද වේ. කෙසේ වෙතත් පසුගියදා අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් අනතුරුව මෙවර අයි.පී.එල්. තරඟාවලියට ක්‍රීඩා නොකීරීමටද ඔහු තීරණය කර ඇත්තේ පෞද්ගලික හේතුවක් මතයි.

ඔහුගේ අඩුව පිරවීමට මෙවර කණ්ඩායමට මහාරාෂ්ඨ ප්‍රාන්ත ක්‍රීඩක රුටුරාජ් ගායික්වාද් කැඳවා ඇත. එමෙන්ම අම්බති රයුදු, ෂේන් වොට්සන් හා ෆෆ් ඩු ප්ලෙසි චෙන්නායි පිතිකරණ අංශය ශක්තිමත් කිරීමට සැදී පැහැදී සිටිති. නමුත් රයිනා සතු වූ සුවිශේෂී පිතිකරණ රටාව මෙන්ම පිටියේ දක්නට ලැබුණු සුවිශේෂී පන්දු රැකීමද මෙවර දක්නට නොලැබීම විශාල අඩුවක් වනු ඇත.

හර්බජාන් සිං

ඉන්දියාවෙන් බිහි වූ දක්ෂ පිටදඟ පන්දු යවන්නෙකු ලෙසින් ප්‍රකට හර්බජාන් සිං වසර ගණනාවක් ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකි. මේ වන විට ඔහු සිය 40 වැනි විය ගෙවා දමමින් සිටියද අයි.පී.එල්. තරඟාවලියේදී ඔහු දැක්වූ දක්ෂතා අතිමහත්ය. තරඟාවලියේ වැඩිම නිලකුණු පන්දු සංඛ්‍යාවක් යොමු කළ ක්‍රීඩකයා වන හර්බජාන් තරඟ 160කදී යොමු කළ නිලකුණු පන්දු සංඛ්‍යාව 1299කි.

පන්දු යවන්නෙකුට අමතරව අවශ්‍ය මොහොතේදී ලකුණු වේගය වැඩි කළ හැකි පසු පෙළ පිතිකරුවෙකු ලෙසින්ද හර්බජාන් ප්‍රසිද්ධය. ඔහුගේ අඩුපාඩුව මෙවර තරගාවලියේ චෙන්නායි කණ්ඩායමට දැඩිව දැනෙනු ඇත්තේ ඔහු හැරුණු කල විශේෂඥ පිට දඟ පන්දු යවන්නෙකු කණ්ඩායමට නොමැති වීම හේතුවෙනි.


ක්‍රිස් වෝක්ස්

එංගලන්ත කණ්ඩායමේ මෙන්ම දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන වෝක්ස් අවසන් පන්දුවාරවලදී ප්‍රතිවාදී පිතිකරුවන්ගේ ලකුණු වේගය අඩාළ කිරීමට යොදා ගන්නා පන්දු යවන්නෙකි. එහිදී සුවිශේෂී දක්ෂතා දැක්වීමට සමත් වෝක්ස් ඔහුගේ අයි.පී.එල්. කඩුලු 25න් 14ක්ම දවාගෙන ඇත්තේ අවසන් පන්දුවාරවලදී වීම විශේෂත්වයකි.

මෙවර තරඟාවලියේදී ඔහුගේ සහභාගි නොවීම පිළිබඳෙ නිශ්චිත තීරණයක් දිල්ලි කැපිටල්ස් විසින් මෙතෙක් නිකුත් කර නොමැත. වෝක්ස්ගේ ස්ථානයට දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක අන්රිච් නෝජ් ආදේශ කර ඇතත් වෝක්ස්ගේ අඩුව මෙවර දිල්ලි කණ්ඩායමට තීරණාත්මක වනු ඇත.


අනෙකුත් ක්‍රීඩකයන්

මොවුන්ට අමතරව තවත් කැපී පෙනෙන ක්‍රීඩකයන් වූ එංගලන්ත කණ්ඩායමේ ජේසන් රෝයි, කේන් රිචඩ්සන් හා හැරී ගර්නිද මෙවර තරඟාවලියෙන් ඉවත් වන ලැයිස්තුවට එක්වී ඇත. මොවුන් සියලු දෙනාටම ආදේශක ක්‍රීඩකයන් මෙවර තරඟාවලියෙන් සොයාගත හැකි වුවත් මොවුන්ගේ අඩුව ඒ ආකාරයෙන්ම පිරවිය හැකිද යන්න ගැටලුවකි.

(ඕෂිත වරකපිටිය)