ජපානයෙන් වාහන අමතර කොටස් ගෙන්වන මුවාවෙන් වටිනා වාහන ගෙන්වා විකිණීමේ නිරත වූ බව කියන සංවිධානාත්මක කණ්ඩායමක නායකයා ඇතුළු දෙදෙනෙක් ප්‍රාඩෝ ජීප් රියක් ද ඇතුළුව කෝටි දහයකට වැඩි වටිනා වාහන පහක් ද සමග පැලියගොඩ අපරාද කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ඊයේ (01) ගම්පහ දී අත්අඩංගුවට ගනු ලැබූහ.



රේගු නිලධාරින් හා මෝටර් රථ  ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ ද සහාය ලබාගෙන මෙම ජාවාරම කර ඇතැයි පැවසෙන  අතර එම නිලධාරින් ද අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ අරඹා ඇතැයි පොලිසිය පවසයි. වාර්තා වන අන්දමට මේ ජාවාරමෙන් රජයට සිදු වී ඇති පාඩුව රුපියල් කෝටි සියයකට ආසන්නය.

රේගුවෙන් පිට කරන මෙම වාහන ව්‍යාජ ලිපි ලේඛන සකසා විකුණා ඇති බවටත් ඒ සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින්ගේ ද සහාය ලැබී තිබූ බවටත් පොලිස් පරික්ෂණවල දී තොරතුරු අනාවරණය වී ඇත. මේ වාහන ජපානයේ සිට මෙරටට එවා ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයකු වන අතර ඔහු මාසයකට දෙවතාවක් මේ  කටයුතු සඳහා මෙරටට පැමිණ ඇතැයි ද පොලිසිය පවසයි. පොලිසිය විසින් සොයාගනු ලැබ ඇති මෙම වාහන අතර මෝටර් රථයක්,  දොඹකරයක් හා ආපදා රථ දෙකක් ද වෙයි.

මේ වාහන මිරිස්වත්ත, කිණිගම ප්‍රදේශයේ වාහන අංගනයක සගවා තිබී සොයාගෙන තිබිණ. පොලිසිය බාරයට ගත් ප්‍රාඩෝ ජීප් රිය ද කිසිදු ලියවිල්ලකක් නැතුව රේගුවෙන් පිට කරගෙන මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තූවේ ඇතැම් නිලධාරීන්ගේ සහායෙන් ලියාපදිංචි කරවා ගෙන තිබෙන බවට ද පොලිසියට තොරතුරු ලැබී ඇත. අත්අඩංගුවට සැකකරුවන්ගෙන් පොලිසිය දිගින් දිගටම ප්‍රශ්න කරගෙන යයි.