කළුතර මිල්ලනිය ප්‍රදේශයේ සැරිසරන නරීන් විසින් ගෘහස්ථ සුනඛයන්ව හා මීගවයන්ව සපා කා ඇති බවත්, මෙම නරීන්ට ජලභීතිකා රෝගය වැලඳී ඇති බැවින් මෙම ප්‍රදේශයේ ජලභීතිකා රෝගය පැතිරයාමේ අවදානමක් ඇතිව තිබෙන බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනජීවී සෞඛ්‍ය අධ්‍යක්ෂ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා පැවසීය.



හෙතෙම මේ බව පවසා සිටියේ ඊයේ (17දා) වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදීය. කළුතරමිල්ලනිය ප්‍රදේශයේ සුනඛයන්ට ජලභීතිකා රෝගය පැතිරීම වළක්වා ගැනීමට මේ වන විට එම ප‍්‍රදේශයේ ගෘහ සුනඛයන් රැසකට ජලභීතිකා එන්නත් ලබාදී තිබෙන බවද ඒ මහතා මෙහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

බොහෝ පුද්ගලයන් නරියන්ගේ චර්යාවන් හඳුනාගෙන නැති නිසා තමයි නරීන්ගේ සපාකෑම්වලට ලක්වෙලා තිබෙන්නේ. සාමාන්‍යයෙන් පුද්ගලයෙකු දුටු විගසම නරියා බයවෙලා දුවන්න ඕනේ. එහෙම දුවන්නේ නැතුව නරියා පුද්ගලයෙකු පසුපස හඹා එනවා නම් අනිවාර්යයෙන්ම ඒ නරියා ජලභීතිකාවට ගොදුරු වුණු සතෙක්.

යම් කිසි සතෙක් ජලභීතිකා රෝගයට ගොදුරු වෙලා තිබෙනවා නම් අපි එම සතාව පරිසරයෙන් ඉවත් කරන්න කටයුතු කරනවා. අපිට පුළුවන් ඊට පස්සේ එතනින් එහාට තවත් සතුන්ට රෝගය බෝවීම වළක්වා ගන්න. එම ප්‍රදේශයේ ගෘහස්ථව ජීවත්වන සුනඛයන් විශාල ප්‍රමාණයකට ජලභීතිකා එන්නත් ලබාදී තිබෙනවා.

නරි මිනිස් ගැටුම පිළිබදව සිදුවීම් කිහිපයක් කළුතර මිල්ලනිය ප්‍රදේශයෙන් වාර්තා වෙලා තිබුණා. ජලභීතිකාවට ගොදුරු වුණු,ගෘහස්ථ සුනඛයන්ව සහ මී ගවයන් කිහිපදෙනෙකුව සපා කා තිබෙනවා. ඒවගේම නරි පුද්ගලයන් කිහිපදෙනෙකුව සපා කා තිබෙනවා. මෙම සිදුවීම්වලින් මරණයක් වාර්තා වී තිබෙනවා.

වාසනාවකට මෙම රෝගය කළු ගඟේ දකුණු ප්‍රදේශයෙනුත් බස්නාහිරෙන් අධිවේගී මාර්ගයෙන් වෙන් වෙලා තිබෙන නිසා එතනින් ඔබ්බට මේ රෝගය යන්න විදිහක් නැහැ. ඒ නිසා ජලභීතිකා රෝගය පැතිරෙන්න පුළුවන් නැගෙනහිර සහ උතුරට විතරයි. ඒ පැතිරීම නවත්වන්න අපි හැකිතාක් සුනඛ එන්නත් කිරීම් සිදුකරමින් තිබෙනවා.

නරි පසුපස හඹා යන්න එපා කියලා මේ වනවිට අපි ගමේ මිනිසුන්ව දැනුවත් කරලා තිබෙනවා. තනි තනිව ගමන් කිරීම වෙනුවට හැකිතාක් කණ්ඩායම් වශයෙන් ගමන්කරන ලෙසටද අපි එම ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. නරි ගම්වැද මිනිස් ජීවිතවලට හානි කරනවා නම් 1992 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ අපට පවසන ලෙසද අප ජනතාවගෙන් ඉල්ලා සිටිනවා."

මේ අතර, මිල්ලනිය මුව පට්ටිය ගම්මානයේ නරි සපා කෑම හේතුවෙන් ජලභිතිකා රෝගය වැලඳී ඇති බවට සැක කෙරෙන අසාමාන්‍ය ලෙස හැසිරුනු මී ගවයෙකු නිර්වින්දනය කර දම්වැල් දමා ගැට ගසා ප්‍රතිකාර කිරීමට ඊයේ (17දා) වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කළේය. දින දෙකක් තිස්සේ අසාමාන්‍ය ලෙස හැසිරීම් රටාවක් පෙන්වමින් ප්‍රකෝපකාරි ලෙස හැසිරෙමින් සිට ඇති මෙම මී ගවයාට නරි සපා කෑමෙන් ජලභීතිකාව වැලඳී ඇති බවට සැක කරමින් හිමිකරු විසින් කඹ දෙකක් ආධාරයෙන් ගස් බැඳ තබා තිබේ.

- කැළුම් දේවින්ද්‍ර -