හනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි කඩා වැටුණු ගොඩනැගිල්ල ඉදිකිරීමට අවසර දුන් ආයතන එසේ අවසර දීමට නිකුත් කළ ලිපි ලේඛන සියල්ල පරික්ෂා කරන බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි.
ඒ අනුව මහනුවර නගර සභාව ජාතික ගොඩනැගිලි පරේයෂණ සංවිධානය සහ අදාළ ඉදිකිරීම්වලට සහය දුන් ඉංජිනේරුවන් නිකුත් කළැයි කියන ලේඛන සියල්ල පරික්ෂා කරන බවද පොලිසිය පවසයි.  මේ සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක තුසිත හළංගොඩ මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙසේ පැවසීය. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා විශේෂ බලපත්‍ර හා  අවසරය දුන් බව පැවසෙන රාජ්‍ය ආයතනවලින් එවැනි  ලේඛන දුන්නේ දැයි පරීක්ෂණ සිදු කිරීමට පියවර ගන්නවා. කඩා වැටුණු ගොඩනැගිල්ල හිමිකරු වූ අනුර ලෙව්කේ නමැත්තා පොලිසියට ප්‍රකාශයක් දී තිබෙනවා.

ඔහුගේ ගොඩනැගිල්ල ඉදිකිරිම සඳහා සියලු අදාළ ආයතනවලින් අවසර ලබාගෙන අනුමත කිරිමේ ලිපි ද තමන් ලබාගෙන තිබෙන බව ඔහු කියනවා. එහෙත් ඔහු පොලිසියට ප්‍රකාශ කර තිබෙන්නේ තමන්ගේ ගොඩනැගිල්ල කඩා වැටුණු අවස්ථාවේ අදාළ සියලු ලේඛන සුන්බුන් අතර අස්ථාන ගතවී තිබෙන බවකුයි. අප පොලිසියේ අපරාධ විමර්ශන අංශය දැනට ඒ සම්බන්ධවත් විශේෂ පරික්ෂණයක් සිදුකරගෙන යනවා. මහනුවර මහනගර සභාවේ ගොඩනැගිලි ඉදිකිරිම් සඳහා අවසර දෙන අංශයේත් සැලසුම් අනුමත කරන අංශයේත්  අදාළ ඉදිකිරීම් සඳහා ඉංජිනේරු අනුමැතිය දුන් අයගේත් ඔවුන් දුන් සහතික සම්බන්ධයෙන් වෙනම පොලිස් කණ්ඩායමක් යොදවා තොරතුරු ලබා ගැනීමටත් පියවරගෙන තිබෙනවා. ඒ සඳහා මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයට සියලු කාර්යයන් බාර දී තිබෙනවා යැයි ද කිය.

ජීවිත තුනක් හානිවීමේ සිද්ධියට අදාළ කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ල ඉදිකිරීමේ දී නිසි නීත්‍යනුකූලව අවසරය හා ලියවිලි නොමැතිව එය ඉදිකර තිබේ නම් ඒ සම්බන්ධව ද කඩා වැටුණු ගොඩනැගිලි හිමිකරුට එරෙහිව අධිකරණයේ නඩු පැවරිමට මහනුවර මූලස්ථාන පොලිසිය වැඩිදුරටත් පියවර ගනිමින් සිටී.  කඩාවැටුණු ගොඩනැගිල්ල ඉදිකිරිමට නිකුත් කෙරුණු සියලු ලේඛන සත්‍ය ඒවා දැයි සොයා බැලීමට පොලිසිය විශේෂ නිලධාරීන් කණ්ඩායමක් පත්කර ඇති බව ද මහනුවර මූලස්ථාන පොලිසිය පවසයි.  මහනුවර නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතාගෙන් මේ සම්බන්ධව විමසූ අවස්ථාවේ ඔහු මෙසේ පැවසීය.

කඩා වැටුණු ගොඩනැගිල්ල ඉදිකිරිම සඳහා නගර සභාවේ සැලසුම් අංශය ඉඩමේ පුද්ගලයාට අනුමත කර දී තිබෙනවා. ඒ වගේම අනුකූලතා (සී.එෆ්.සී) සහතිකයකුත් නිකුත් කර තිබෙනවා. කෙසේ වෙතත් දැන් මේ සම්බන්ධව නගරාධිපතිතුමාගේ උපදෙස් මත පරික්ෂණයක් පැවැත්වීම සඳහා නිලධාරීන් කණ්ඩායමකුත් පත් කර තිබෙනවා යැයි ද කීය.


ජේ.එ.එල්.ජයසිංහ-