කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවියක නාඳුනන පිරිසක් විසින් බලහත්කාරයෙන් මෝටර් රථයකින් පැහැරගෙන යෑමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කැලණිය පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් අරඹා තිබේ.


 24 හැවිරිදි මෙම සිසුවියව පෙරේදා (05) සවස 3.30 ට පමණ කැලණිය වේවැල්ව පාර ප‍්‍රදේශයේදී පැහැර ගැනීමට උත්සාහ දරා ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ.


 තමා සිය නවාතැන්පළ වෙත පා ගමනින් යමින් සිටියදී එක්වර පැමිණි මෝටර් රථයක් තමා අසලට විත් කතර කළ බවත් එම රථයේ පිටුපස දොර හැර තමාගේ අතින් අදිමින් රථය තුළට තමා දමා ගැනීමට උත්සාහ කළ බවත් තමා අතගසා දිවගොස් බේරුණු බවත් සිසුවිය පැවසූ බව පොලිසිය කියයි.

 රථයේ පැමිණි පුද්ගලයන් තමා නාඳුනන බව සිසුවිය පැවසීයැයිද මෙම සිසුවිය කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියක බවද පොලිසිය පැවසීය.
 මෙම පැහැර ගැනීමට තැත්කිරීම සම්බන්ධ සැකකරුවන් සොයා පොලිසිය පරීක්‍ෂණ සිදු කරයි.

 මේ පිළිබඳව කැලණිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂ සුබසිංහ මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

 ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා