කොටිකාවත්ත සුසාන භූමියේ ආදාහනාගාර කුටියේ (24දා) සිදු වූ යම් සිදුවීමකින් ආදාහනාගාර කුටියේ ගිනිදැල් පිටතට විහිදීමෙන් පුද්ගලයන් 7දෙනෙකු තුවාල ලබා ඇතැයි වැල්ලම්පිටිය පොලීසිය පවසයි.



මියගිය කාන්තාවගේ සිරුරක් ආදාහන කටයුතු සදහා ආදාහනාගාර කුටියට ඇතුළු කර එහි සේවකයන් දොර වසා ස්වීචය ක්‍රියාත්මක කිරිමත් සමගම එකවරම ශබ්දයක් සමඟ ගිනිදැල් පිටතට විහිදී ඇති බව පොලීසිය පවසයි. එම අවස්ථාවේදී ඒ ආසන්නයේ සිටි පුද්ගලයත් 7දෙනෙකු පිලිස්සුම් තුවාල ලබා තිබූ බව පොලීසිය පවසයි. තවත් කීපදෙනෙක් සුළු පිලිස්සුම් තුවාල ලබා ඇති බවද වාර්තවෙයි.

අවමංගල්‍ය උත්සවයට සහභාගි වී සිටි සෙසු පිරිස වහා ක්‍රියාත්මක වී පිලිස්සුම් තුවාල ලැබූ 7දෙනෙක් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. රෝහල්ගතකළ තුවාලකරුවන් සියලු දෙනා පිරිමි පුද්ගලයන් බවත්, ඔවුන්ගේ මුහුණ, පපු ප්‍රදේශය හා දෑත් දැඩි පිලිස්සුම් ලබා ඇති බවත් කොළඹ ජාතික රෝහල් ප්‍රකාශකයකු පැවසීය. පිපිරීමට හේතුව බොහෝ දුරට ගෑස් නළයේ සිදුවූ ගෑස් කාන්දුවීමක් හෝ ගෑස් නළයක වූ පිපිරීමක් විය හැකි බවට පොලිසිය සැක කරයි.

වැල්ලම්පිටිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඕ.ඒ.යූ. ජයශාන්ත මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වේ.
 - බිමල් ශ්‍යාමන් ජයසිංහ -