මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා සිසුන් සඳහා ලැප්ටොප් පරිගණක මිලදී ගැනීමට සහන ණයක් ලබා දීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම තිරණය කර තිබේ.
එහි උප සභාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය සඳහන් කළේ, රාජ්‍ය බැංකුවක් සමග එක්ව එම ණය මුදල ලබා දෙන බවයි.

රුපියල් ලක්ෂක සහන ණයක් මේ යටතේ සිසුන්ට ලබා දෙන අතර එම ණය යළි ප්‍රතිපූර්ණය කළ යුත්තේ අදාළ සිසුවා උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව වීම විශේෂත්වයකි.

විශ්වවිද්‍යාල සිසුන් අතර Online අධ්‍යාපනය ප්‍රවර්ධනය සඳහා මේ පියවර ගත් බව ද මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය සඳහන් කළාය.

ඇය වැඩිදුරටත් පැවසුවේ 2019 උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල සඳහා තේරී පත් වන සිසුන්ට තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි පාඨමාලා Online ක්‍රමයට මෙවර පැවැත්වෙන බවයි.

පවතින කොරෝනා රෝග ව්‍යාප්තියත් සමග සරසවි සිසුන්ට අඛණ්ඩ අධ්‍යාපනයක් ලබා දීම සඳහා Online අධ්‍යාපනය ඉතා වැදගත් වන බව ද මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය අවධාරණය කළාය.