ජනප්‍රිය ගායක ලතා මංගේෂ්කාර් සිටි ගොඩනැගිල්ල නව කොරෝනා වෛරසය  හේතුවෙන් පූර්වාරක්ෂාවක් ලෙස බ්‍රිහාන්මුම්බායි මහ නගර සභාව විසින් මුද්‍රා තබා ඇත. 90 හැවිරිදි මෙම ගායිකාව පදිංචිව සිටින්නේ දකුණු මුම්බායිහි පෙඩාර් මාර්ගයේ පිහිටි ප්‍රභූකුන්ජ් ගොඩනැගිල්ලේය.



මෙම ගොඩනැගිල්ල මෙසේ මුද්‍රා තබා ඇත්තේ එහි ජ්‍යෙෂ්ඨ
පුරවැසියන් බොහෝ පිරිසක් වාසය කිරීම හේතුවෙන් වන බව මංගේෂ්කාර් පවුල නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. එමෙන්ම මෙම ආරංචිය හේතුවෙන් තමන් හට විශාල වශයෙන් දුරකථන ඇමතුම් පැමිණෙන බවත් තමන්ට හෝ තම පවුලේ කිසිවෙකුට වෛරසය ආසාදනය වී නොමැති බවත් ඇය පවසයි. තවද මෙම ගොඩනැගිල්ලෙහි වැඩිහිටි පුද්ගලයන් විශාල පිරිසක් වාසය කරන බැවින් පූර්වාරක්ෂාවක් ලෙස මෙසේ පියවර ගැනීම අනිවාර්යයෙන් කළ යුතු බවටත් ඇය අදහස් දක්වා තිබුණි. මෙම කරුණු හේතුවෙන් ගනේෂ උත්සවය පවා සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරමින් ඉතා සරල ලෙස සැමරීමට තම පවුල කටයුතු කළ බවද ඇය පවසයි.

එමෙන්ම ගොඩනැගිල්ල තුළ පදිංචි සමහර පදිංචිකරුවන් COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බවට වාර්තා පළ වූ නමුත් තම පවුල සුරක්ෂිත බව ඇය පවසයි. නමුත් සියලු දෙනාගේ යහපත වෙනුවෙන් තමන් ඇතුළු පවුලේ පිරිස සෑමවිටම ආරක්ෂාකාරීව කටයුතු කරන බව ද ඇය සිය පණිවිඩයේ සඳහන් කර තිබුණි. කෙසේවෙතත් මහාරාෂ්ට්‍රයේ කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව 7,64,281 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්තාගත ලෙස එහි නව රෝගීන් 16,867 ක්ද මේ වන විට වාර්තා වී තිබේ.

රිෂ්මි ඉෂාරා