සංවිධානත්මක අපරාධ කල්ලි සාමාජියකු මෙන්ම මහපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන්  වන මාකඳුරේ මධුෂ් සහ වැලිපැන්නේ ජෝසා නමැත්තන්ගේ ප්‍රධාන ගෝලයකු වන විශ්‍රාමික හමුදා සැරයන් මේජර්වරයකුගේ අලුත්ගම පිහිටි නිවසේ තිබී ගිනිඅවි, අත්බෝම්බ, සයනයිඩ් කරලක්, උණ්ඩ, හමුදා ඇඳුම්, කළුතර කොට්ඨාස
විෂ මත්ද්‍රව්‍ය ඒකකය මගින් ඊයේ (17) පස්වරුවේ අලුත්ගම දී අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පාදාගොඩ ආමි ශිවා නමැත්තෙක් බවද  උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. ඔහුගේ නිවසේ තැනින් තැන සගවා තිබු අත් බෝම්බයක්, බෝර 12 ෂොට්ගන් වර්ගයේ ගිනි අවියක්, සයනයිඩ් කරලක්,  හමුදාවට අයත් පපුආවරණයක්, ටී 56 උණ්ඩ 5 ක්, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ හතක්, බෝර 12 ගිනි අවි උණ්ඩ 5 ක්, හමුදා නිල ඇඳුම් කට්ටලයක්, 231 වන බලසේනාවට අයත් ෆයිල් කවර තුනක්, කැලෑ නිල ඇඳුම් කට්ටලයක් සොයා ගත් බව පොලිසිය පවසයි.

මාකඳුරේ මධුෂ් නමැත්තාගේ ගෝලයකු වන පාදාගොඩ "බුෂියා" නමැත්තා මීට දින කිහිපයකට පෙර අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරිමේදී හෙළි වූ  තොරතුරු අනුව සැකකාර හමුදා සැරයන් මේජර් ඊයේ සවස අත්අඩංගුවට ගත් බව එම උසස් නිලධාරියා කියා සිටියේය. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු ළග හෙරොයින් ග්‍රෑම් 3ට අධික ප්‍රමාණයක්ද තිබි ඇත. සැකකරු පසුගිය ජනවාරි මාසයේ යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් ඇති අතර පසුව ඔහු වැලිපැත්න ජෝසා නමැත්තාගේ මත්කුඩු ජාවාරමේ සහ අපරාධවල නිරත වී ඇති බවට තොරතුරු ලැබුණ බව පොලිසිය සඳහන් කරයි.

මොහු මෙම නිවසේ ගිනි අවි, උණ්ඩ, බෝම්බ, හමුදා නිල ඇඳුම් සඟවාගෙන ඇත්තේ අපරාධ සිදුකිරීමට බවට ද  පොලිසිය සැකකරයි. මෙම ගිනි අවි අපරාධ සඳහා භාවිතා කර ඇති ද යන්න හෙළි කර ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.  අත්අඩංගුවට ගත් සැකකරු සිදුකර ඇති අපරාධ සම්බන්ධයෙන් තොරතුරු හෙළි කර ගැනීම සඳහා අද (18) දින ඔහු අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගන්නා බවද පොලිසිය කියයි.
-ඉන්දිකා රාමනායක-