සිවුදෙනකු ගමන්ගත් මෝටර් රථයක් ඊයේ (3) අලුයම මහරගම නාවින්න ප්‍රදේශයේදී තාප්පයක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් තවත් පුද්ගලයන් දෙදෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව
මහරගම පොලිසිය කියයි. අනතුරින් මියගොස් ඇත්තේ නුගේගොඩ,  තලපත්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි මාධව සංකල්ප 27 හා මහව කෝන්වැව රුවන්ගල පදිංචිව සිටි සුමින්ද කුමාර නරසිංහ 33 යන දෙදෙනායි.

අනතුරින් මියගිය දෙදෙනා සහ බරපතළ තුවාල ලැබූ දෙදෙනා මහරගම දෙවන පාරේ අවන්හලකින් රාත්‍රියේ ආහාර රැගෙන නැවත හයිලෙවල් මාර්ගය ඔස්සේ උඩහමුල්ල දෙසට මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී උඩහමුල්ල දෙසට පිවිසෙන මාර්ගයේ වම්පස පිහිටා තිබෙන බෝධියෙහි ආරක්ෂිත තාප්පයේ ගැටී අනතුරුව තාප්පය ද කඩාගෙන ගොස් බෝධියෙහි ගැටී මෙම අනතුර සිදු වී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ අනෙක්  පුද්ගලයන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. සිදුවූ අනතුරින් මෝටර් රථයට බරපතළ අලාභ සිදුවී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය. මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.එච්. ජනකාත්ත මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක පී.බී.ටී. මෙමත්‍රීපාල මහතා පරික්ෂණ පවත්වයි.
-බිමල් ශ්‍යාමන් ජයසිංහ-