හිටපු ජනාධිපති හා අගමැති අතර ඇති වූ මත ගැටුම නිසා තමන්ට අවසන් කාලයේ පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීමේදී දැඩි දුෂ්කරතාවකට මුහුණ පෑමට සිදුවූ බව හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ඊයේ
(23) පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි.  “ඔබේ සේවා කාලය තුළ කට අරින්න බැරි වුණත් දැන් කට අරිත්න පුළුවන්නේ. දැන් කට ඇරලා කියන්න ඔබට ඒ කාලේ රාජකාරි කිරීමේදී දේශපාලන බලපෑම් ආවාද කියලා" යැයි


කොමසාරිස්වරයකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජයසුන්දර මහතා පැවසුයේ තම සේවා කාලයේ අවසන් භාගයේදී එනම් 2017 අවසානයේ සිට 2019 තමන් අත්අඩංගුවට පත්වන තුරු කාලය තුළ  රාජකාරි කටයුතුවලදී දේශපාලන බලපෑම් ඇති වූ බවය.  තමන් ආරක්ෂක කවුන්සිලයෙන් ඉවත් කිරීමට ප්‍රධාන වශයෙන්ම බලපෑවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ  පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා මහතාගේ ස්ථාන මාරුවක් සම්බන්ධ ප්‍රශ්නයක් බවද ඔහු පැවසීය.

නිශාන්ත සිල්වා මහතා හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවි විජේගුණවර්ධන මහතා සැකකරුවකු ලෙස සලකමින් කළ විමර්ශනයක්ද, පොලිසීයේ හමුදාවේ නිලධාරීන් සැකකරුවන්  ලෙස අත්අඩංගුවට ගනිමින් කළ විමර්ශන රැසක්ද ඉතා හොඳින් සිදුකළ බවද ඔහු පැවසීය. ඔහු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කවුරුන් හෝ කළ පැමිණිල්ලක් නිසා නිශාන්ත සිල්වා මාරු කරන ලෙස තමන්ට නියෝග කළ බවද එහෙත් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගැනීමක් හෝ කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත්ව හෝ නොමැති තත්වයකදී ඔහු කරන විමර්ශන අනුව එසේ හදිසි මාරුවීමක් ලබාදීම ගැටලුවක් විය හැකි බවට තමන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාද සමග ගොස් ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කළ බවද ජයසුන්දර මහතා පැවසීය.

එම පැහැදිලි කිරීම ඒ අවස්ථාවේ ජනාධිපතිවරයා පිළිගත්තද ජනාධිපතිවරයා විදෙස්ගතව සිටි අවස්ථාවකදී ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා තමන් දුරකථනයෙන් අමතා නිශාන්ත මාරු කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කළ බව පැවසූ බවද ඒ අනුව මෙම මාරු කිරීමට තමන් එකග නැති බවද එය සිදුකරන්නේ  කුමන හේතුවක් නිසාද යන්නත් පිළිබඳව පොලිස් කොමිසමට කරුණු දක්වා නිශාන්ත සිල්වා මහතා මීගමුවට මාරු කළ බවද ඔහු පැවසීය. එම ස්ථාන මාරුවෙන් පැය විසිහතරක් ගත වන්නත් පෙර නැවත ජනාධිපතිවරයා කතා කර එවැනි “මම එහෙම නියෝගයක්  දුන්නේ නෑ මේ මාරුව වහාම අවලංගු කරන්න"

යැයි පවසමින් තමන්ට දොස් පැවරූ බවද ඒ අනුව නැවත එම ස්ථාන මාරුව  අවලංගු කළ බවද ඔහු පැවසීය. මෙසේ ජනාධිපතිවරයා තමන් කළ නියෝගය ආපසු අකුළාගත්තේ සජිත් ප්‍රේමදාස, මහින්ද අමරවීර වැනි දේශපාලනඥයින් පිරිසක් කළ බලපෑම නිසා බව පසුව දැනගත් බවද ඔහු පැවසීය. මෙම සිදුවීමෙන් පසු හිටපු ජනාධිපතිවරයා තමන් සමග හිත් නොහොඳ කමකින් පසුවූ බවද ඔහු පැවසීය. තමන් ආරක්ෂක මණ්ඩලයට නොකැඳවීමට එය හේතුවන්නට ඇතැයි විශ්වාස කරන බවද ඔහු පැවසීය.

ආරක්ෂක කවුන්සිලයෙන් පොලිස්පතිවරයා ඉවත් කිරීම පාස්කු ඉරුදින ප්‍රහාරයට බලපෑවේදැයි කොමිසම කළ විමසීමකට පිළිතුරු  දෙමින් ඔහු සඳහන් කළේ එහි බලපෑමක් ඇතැයි විශ්වාස කරන අතර 2012, 2013 කාලයේ සිටම සහරන්ලා ගැනත් අන්තවාදීන් ගැනත් නිසි පියවරක් නොගැනීම ප්‍රධාන වශයෙන් බලපෑ බවද ජයසුන්දර මහතා පැවසීය.  ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් දේශපාලනඥයන්ගෙන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නිසා සහරාන්ලා ඇතුළු අන්තවාදීන් සම්බන්ධයෙන් විමර්ශන ඉතා පරිස්සමෙන් සිදුකරන්නැයි මුලින් උපදෙස් ලබා දුන්නද පසුව ඒ සම්බන්ධ විවෘත විමර්ශන නොකරන ලෙස නියෝග කළ අතර “අන්තවාදීන් පිළිබඳව නිලන්ත මොනිටර් කරයි. ඒ ඇති” යැයි පැවැසූ බවද ජයසූරිය මහතා පැවසීය.

-මුදිතා දයානන්ද-