න්දියාවේ සුප්‍රකට සිනමා අධ්‍යක්ෂවරයකු වත මනිරත්නම්ගේ නවතම සිනමා නිර්මාණය "පොන්නියන් සෙල්වන් "Ponniyen Selvan" රූගත කිරීම්වල ඉතිරි කොටස ලබන ඔක්තෝබර් මාසයේ සිට ශ්‍රී ලංකාවේද සිදුකිරීමට කටයුතු යොදා තිබේ. මෙම චිත්‍රපටයේ රූගත කිරීම්වල 30% පමණ මීට පෙර තායිලන්තයේදී සිදුකර තිබේ. ඉතිරි සම්පුර්ණ කොටස මෙරට රන්මිනිතැන්න සිනමා ගම්මානය, දඹුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපෙයකදී දින 100ක කාලයක් තුළ
රූගත කිරීමට සියලු සැලසුම් සුදානම් කර ඇති බව දැනගන්නට ලැබුණි.ශ්‍රී ලංකාව - ඉන්දියාව සම්බන්ධ වූ වෝල අධිරාජ්‍යය පදනම් කරගෙන කල්කි ක්‍රිෂ්ණමූර්ති නැමැති ප්‍රකට ලේඛකයා රචිත නවකතාවක් ඇසුරෙන් නිර්මාණය කරන මෙම චිත්‍රපටය සඳහා එහි ප්‍රධාන නළු නිළියන් වන සුරූපී නිළි අයිශ්වර්යා රායි බච්චන්, වික්‍රම්, කානික්, ට්‍රිෂා ක්‍රිශ්ණ, ප්‍රභු, ජෙයම් රවි, අයිශ්වර්යා ලක්ෂ්මී,  ජෙයරාම්, වික්‍රම්ප්‍රභු, සරත් කුමාර්, කිලර් කුමාර්, අශ්වින්, රියාස් ඛාන්,  ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙහිදී ඔවුන් සමග මෙරට නළු නිළියන් 500කට අධික සංඛ්‍යාවක් රංගනයෙන් දායකවීම විශේෂත්වයකි.


"පොන්නියන් සෙල්වන් " චිත්‍රපටයේ මෙරට රූගත කිරිම් සදහා මනිරත්නම්ගේ "මැඩ්රාස් ටොකීස්" සමඟ රේඛීය නිෂ්පාදක ලෙස ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ පසුගියදා ගිවිසුමකට අත්සන් කරන ලදී. ප්‍රසන්න තම කාර්යය සිදුකිරීමට ප්‍රවිෂ්ට රංගධර, ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණියගේ ෆිල්ම් ටිමි ආයතනය සමගද ගිවිසුමකට එළඹුණි. භාරදුර කටයුත්ත පිළිබඳව ප්‍රසන්න "රසවින්දන" ටපැවසුවේ මේ අයුරිනි.

"ඇත්තෙළි මේ කටයුත්ත ශ්‍රී ලංකාවට එන ලොකුම  ආයෝජනයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ චිත්‍රපටයට අපේ රටේ නළු නිළියන් 500කට වැඩි පිරිසක් දායක කරගන්නවා. මේ සදහා මෙරට සිටින දමිළ, සිංහල සියලූ දෙනාම  එකතු කරගන්නවා. ඒ වගේම කාර්මික අංශයට අපේ රටේ දක්ෂ අයත් දායක කරගන්නවා. මෙහි දර්ශනතල මේ දිනවල රන්මිහිතැන්නේ හැදිමට මෙරට සිටින ප්‍රවීණ නිර්මාණකරුකු වන එරල් කෙලී සියලු සැලසුම් හදාගෙන  යනවා.

ඔක්තෝම්බර් මාසයේ අග හරියේ ඉඳන් දින 100ක් මෙහිදී මේ චිත්‍රපටයේ රූගත කිරිම් කරනවා.  මනිරත්නම්ගේ මේ චිත්‍රපටයේ 30%  ක් පමණ රූගත කිරීම් කොරෝනා වසංගතයට පෙර තායිලන්තයේදී සිදුකළේ.  අපේ රටේ ශ්‍යාම් ප්‍රනාන්දු මේ චිත්‍රපටයේ 5 වැනි මිහිඳු රජ ලෙස රංගනයෙන් දායක වුණා. ලංකාවත්, ඉන්දියාවත් සම්බන්ධ වූ චෝල අධිරාජ්‍යය පාදක කරගෙන කල්කි ක්‍රිෂ්ණමූර්ති ලියූ පිටු 1000කට වැඩි නවකතාව තමයි මේ චිත්‍රපටයට පාදක කරගෙන තිබෙන්නේ. ම් නවකතාව ඇසුරන් චිත්‍රපටයක් කරන විට පෙර දකුණූ ඉන්දීය සුපිරි නළුවන් දෙදෙනෙක් වන එම් පී. රාමචන්ද්‍රන් හා කමල් හසන් උත්සාහ කළා. නමුත් නිෂ්පාදනයේ වැය පක්ෂය ඉතා අධික නිසා චිත්‍රපටය කරගන්න බැරි වුණා.


මනිරත්නම්ගේ ලොකු සිහිනයක් තිබුණා. මේ චිත්‍රපටය කරන්න ඔහු මීට අවුරුදු 15කට කලින්  මෙය කරන්න හැදූ විටදි හෘදයාබාධයකට ලක්වුණා. ඒ නිසා නතර කරන්න සිදුවුණා. දැන් තමයි කරන්න හදන්නේ.  මේ චිත්‍රපටය 2021 දී තිරගත කරන්න බලාපොරොත්තු වෙනවා. මෙය වැඩිම මුදලක් වැය කරන දැවැන්ත සිනමා නිර්මාණයක්. ලාංකීය සිනමාව කඩා වැටී ඇති මොහොතක මෙවැනි දැවැන්ත කටයුත්තක් අපේ රටේ සිදුකරන්න ලැබීම ලොකු වාසනාවක්. මොකද මේ  රටේ බොහෝ දෙනකුගේ අතමිට මේ හින්දා සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. චිත්‍රපටවල වැඩ නැති නිසා බොහෝ දෙනෙක් ඉතා අසරණ තත්වයේ ඉන්නේ. ඒ හින්දා ලාංකීය සිනමාවට ලොකු උත්තේජනයක් මෙයින් ලැබෙයි කියා මා හිතනවා."

"පොන්නියන් සෙල්වන්"  චිත්‍රපටයේ සංගීතය ඔස්කාර් සම්මානලාභී ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ ඒ.ආර්. රන්මාන් ගෙනි. කැමරාකරණයෙන්  රවි වර්මන්, සංස්කරණයෙන් ග්‍රීකර් ප්‍රසාද් කලා අධ්‍යක්ෂණයෙන් තොට්ට තරණි, අදුම්  නිර්මාණයෙන් ඒකා ලහාක්මා, තිර රචනයෙන් මනිරත්නම්, බී ජෙයමෝහන් (දෙබස්) හා එලංගෝ කුමාරවේල් සියක වන මෙම චිත්‍රපටය මනිරත්නම්, සුභාසිනී මනිරත්නම් හා සුභාෂ් කරන් අලීරාජ්ගේ නිෂ්පාදනයකි.
(සමන්ත යහම්පත්)