ඉදිරියේදී මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළින් විදේශ රැකියා සඳහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ගේ ගුවන් ටිකට්පත සඳහා වට්ටම් ලබාදීමට රජය සැලසුම් කර තිබේ. ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් විදෙස්ගත වන ශ‍්‍රමිකයින් සඳහා අය කරනු ලබන මුදලටද වට්ටම් ලබා දීමට සාකච්ඡා කරන බව සංචාරක අමාත්‍යාංශය පවසයි.



කොවිඩ්-19 හේතුවෙන් වසා දමා ඇති ගුවන් තොටුපළ නැවත විවෘත කිරීමේදී මත්තල ගුවන්තොටුපොළ සඳහාද වෙනම වැඩපිළිවෙළක් සංචාරක අමාත්‍යාංශය ඇමති මණ්ඩලයට දැනටමත් නිර්දේශ කර ඇත. ඒ අනුව දැනට කොවිඩ්-19 අවදානමට වැඩි වශයෙන් ලක්ව ඇතැයි හඳුනාගෙන ඇති රටවල ගුවන් මගීන් මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළ හරහා දිවයිනට ගෙන්වා ගැනීමට සැලසුම් කර තිබේ. එය සිදු කෙරෙන්නේ සෞඛ්‍ය අංශවල පූර්ණ අධීක්ෂණය යටතේයි.

කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් ලෝකයේ විවිධ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීමේදී ගුවන් ගමන්වාර 198කින් මගීන් 8200ක් මත්තල ගුවන් තොටුපළ හරහා දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සංඛ්‍යාලේඛන අනුව වාර්ෂිකව දිවයිනෙන් විදේශ රැකියා සඳහා පිටව යන සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවන අතර, ඉන් 20%ක් පමණ මත්තල ගුවන්තොටුපළ ආශ්‍රිත දිස්ත්‍රික්ක 09කින් පිටත්ව යන බව අධ්‍යනයකින් හෙළි වී තිබේ. ගාල්ල, මාතර, හම්බන්තොට, මොනරාගල, බදුල්ල, අම්පාර, රත්නපුර, කල්මුණේ, මඩකලපුව එම දිස්ත්‍රික්ක වෙයි. මෙම යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

- නවෝද්‍යා පවනි -